Monday, June 8, 2015
හිරුට කලියෙන් - Wasana Dhanayaka
හිරුට කලියෙන් සුසුඳු කෝපි මල් පිපෙනවා
උදෑසන නුඹෙ හිනා ඇස් පුරා මැවෙනවා
නිදිමතෙන් දෑස් හැර හිනාවක් හොයනවා
පොඩි පුතේ උඹ නැතුව මට ඉතින් ඇඬෙනවා
කිරිරහට මාලුවක් බතක් දැන් ඉදෙනවා
මගේ ලඟ දැවටෙමින් උන්න හැටි දැනෙනවා
එකින් එක කවන්නට කතාවන් ඇහෙනවා
ඒත් නුඹ නෑ තවම අනේ දුක හිතෙනවා
අප්පච්චි සුසුම් ලනු ඉඳහිටත් ඇහෙනවා
නොකීවට උඹේ ගැන මහමෙරක් හිතනවා
නොරට දේසෙක නුඹට කොහොමදැයි අහනවා
කතා අවසන ඉතින් කඳුලකුත් පිහිනවා
සිප්සතර උගන්නට තව කලක් තියනවා
රජෙක් නොව මිනිහෙක්ව ලොව දිනයි දන්නවා
ඒ දවස එනතුරා දුක දරන් ඉන්නවා
නුඹ අපේ ලෝකයයි අපි බලන් ඉන්නවා
2015 / 06 / 07
-------------------------------------------------------------------------
පිරිත් කියන්න පුලුවන්ද ඝෝෂාකාරී සංගීත තාලයකට අනුව. බැහැනේ. ජයමන්ගල ගාථා? එත් බැහැනේ. ඒවාට කව්රුවත් තාල රටා, තනු නිර්මාණය කලාද? ඒත් නැහැනේ. එහෙනම් ඒවා හෑල්ලක් කියවගෙන කියවගෙන යන විදියට කියනවාද? ඒත් නැහැනේ. ඒ වුනාට ජයමංගල ගාථා කියන්නෙත් , පිරිත් සජ්ජායනා කරන්නෙත් කිසියම් රිද්මයකට, තාල රටාවකට අනුව්. මම නම් කියන්නේ ඒ වයේ වචන තුලම ඒ රිද්මය කැටිවෙලා තියෙනවා කියලයි.
ඉස්සර කාලේ දරු නැලවිලි ගීතවලට සුනිල් ශාන්තයන් ලා, අමරදේවයන් ලා හරි වෙන කව්රු හරි තනු, තාල රටා යෙදෙව්වාද? නැහැනේ. එත් අපේ අම්මලා, ආච්චිලා ඒවා කසාය සීට්ටුවක් කියන්නා වගේ කියෙව්වේත් නැහැනේ.
" ඔන්න බබෝබෝ ඇතින්නියා , ගල් අරඹේ සිටින්නියා....බබුට බයේ දුවන්නියා...දොයි දොයි දොයි දොයිය බබා වගේ නැලවිලි ගී කිව්වේ කිසියම් ලතාවකට. ඒ රිද්මය , තාල රටාව ඒ ගොල්ලන්ට කව්රු කියලා දුන්නාද කියන එක තමයි ප්‍රශ්නය. මම මුලින් සඳහන් කළා වගේ ඒ නැලවිලි ගී වල පදමාලාව, තුලම, වචන තුලම ඒ රිද්මය කැටි වෙලා තියෙනවා කියලයි මම කියන්නේ.
මම මේ පූර්විකාව සඳහන් කලේ වාසනා දහනායකගේ " හිරුට කලියෙන් සුසුදු කෝපි මල් ......" කියන නිර්මාණය ගැන සටහනක් ලියන්නයි. ඒ පූර්විකාවත් මේ නිර්මානයත් අතර මොන සම්බන්ධයක්දයි ඇතැමෙකුට හිතෙන්න පුළුවන්.
ඒ සම්බන්ධය වශයෙන් මට නම් කිව හැක්කේ ඉහත සඳහන් කල නිර්මාණයන්ගේ මෙන්ම වාසනාගේ මේ සංවේදී නිර්මාණයට ඔබින රිද්මයක් ,යොදා ඇති එලි සමය තුලින් මතු කරලීමට රචිකාව සමත්වීම කියලයි. ඒ සංවේදී බව තීව්ර කිරීමට ඒ එළිසමය සමත් වෙලා තියෙනවා. එය නිර්මානයට ආලෝකයක්. එළිසමය වුවත් සිවු පද කවි හතරටම එකම රටාවේ එලිසමයක් යෙදීම නිර්මාණය වඩාත් ආලෝකමත් කරනවා. ඒ ආකාරයෙන් නිර්මාණයේ අර්ථ රසයට හානි නොවන ආකාරයට එළිසමය යෙදීම මදක් අසීරු දෙයක් වුවත් වාසනා එය ජය ගෙන තිබෙනවා. කවි හතරේ , අවසාන කවියේ අග පද දෙක දක්වා එළිසමය තුල වුවත් පුනරුත් දෝෂයක් ඇති නොවන ආකාරයට නිර්මාණය හැසිරවීමට වාසනා සමත් වී තියෙනවා.
ඒත් අග පද දෙකෙම " ඒ දවස එන තුරා දුක දරන් ඉන්නවා
නුඹ අපේ ලෝකයයි අපි බලන් ඉන්නවා" කියල එකම වචන දෙකක් එළිසමය සඳහා යොදා තියෙනවා.
වාසනා නිර්මාණය ආරම්භයේදීම
" හිරුට කලියෙන් සුසුදු කෝපිි මල් පිපෙනවා" කියල කියනවා.
හිරුට කලියෙන් පිපෙන ලස්සන සුසුදු මල් කොච්චරක් නම් තියෙනවාද? එහෙව් එකේ වාසනා බුදු පුදටවත් ගන්නේ නැති කෝපිි මලක් ගැන කියන්නේ මොන අරුමයකටද කියලා නොහිතුනා නොවේ.. කොච්චර ලස්සන මල් තිබුනත් අපි හිනාවට උපමා කරන්නේ සුදෝ සුදු කෝපි මල් කියන එක වාසනාට අමතක නොවීම කොතරම් සුන්දරද? " උදාසන නුඹේ සිහින ඇස් පුරා මැවෙනවා"
" ඒ කෝපි මල් හිනාව හොයන අම්මාට එය නොදකින කොට ලැබෙන්නේ එයට හාත් පසින්ම විරුද්ධ වූ ඇඩුමයි. බලන්න වාසනා එයාගේ නිර්මාණය තුල හිනාව සහ ඇඩුම යා කර තිබෙන ආකාරය.
කුඩා කල කතන්දර කියමින් තම පුතුට බත් කැවු ආකාරය මනසින් ආවර්ජනය කරන අම්මා තම පුතු තම අභියස නොමැතිවීම ගැන තැවෙන ආකාරය වාසනා ඉතා සංවේදීව ඉට්දිරිපත් කර තිබෙනවා.
මවගේ පමණක් නොව , පුතු නැති සොවින් තැවෙන පියාගේ සිතිවිලි ද ඒ හා යා කිරීමට වාසනා සමත් වී ඇත. සුසුම්ලන පියා අවසන කඳුළු පිසිනාකාරය මගින් එය ප්‍රකාශ කර ඇත.'" කතා අවසන ඉතින් කඳුලකුත් පිහිනවා "
' පිහිනවා' යන්න කාව්‍ය කරණයේදී නිවැරදි වුවද රසිකයාට වඩා පහසුවෙන් ග්‍රහණය කර ගැනීම සඳහා එය " පිසිනවා " යන්න වුවා නම් වඩා උචිත බව මගේ අදහසයි.
නිර්මාණකරුවකු තම නිර්මාණය තුලින් සමාජයටද කිසියම් පණිවිඩයක් සනිවේදනය කිරීමට සමත් වන්නේ නම් එය වඩා යහපත් වේ. වාසනා මෙම නිර්මාණයෙදී අම්මා මගින් ඒ දෙය කර තිබේ. නොරට දේශයකට ගොස් පවා ඒ අම්මා උගතෙක් කිරීමට දරන තැත අවසානයේ බලාපොරොත්තු වනුයේ රජෙක් හෝ උසස් නිලයකින් හෙබි තැනැත්තෙක් කිරීමට නොවේය." මිනිසෙක් " කිරීමටය.
" රජෙක් නොව මිනිහෙක්ව ලොව දිනයි දන්නවා"
සාර්ථක නිර්මාණයක්. ඔබට ජය. (නිමි) ---සිසිර ගමගේ----
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment