Tuesday, June 2, 2015

අම්මා ඇතින්නකි - Shriyani Mihindukulasooriya

අම්මා ඇතින්නකි....
විස බඳුනකිය නුඹ බිව් රහමෙර සේම
ගුටි බැට දෙමින් අම්මා රිදවපු බෝම
නොසරුප් බස් කියා අවමන් දෙනු කෝම
නුඹ දරුවන් වැදූ අම්මා ඇය වේම.

නුඹෙ පා පහර ඉන්නේ ඇය ඉවසාම
ඇය ගුටි කද්දී රිදුනේ මට හැමදාම
සඟවා කඳුල හොරැහින් ඉකි බින්ඳාම
අම්මා ඇතින්නකි දුක ඉවසනු බෝම
මගෙ බුදු තාත්තේ බොන්නේ ඇයි ඔහොම
අසනා කලට නොසරුප් බස් තෙපලාම
කම් නැහැ තාත්තේ පව් පිරුනත් බෝම
අප දා නොයන්නේ ඇයි දැයි සිතුනාම

----------------------------------------------------------------------------------------
ඉංග්‍රීසි කියමනක් තියෙනවා., මෙන්න මෙහෙම.
your Boss may not right all ways, But he is all ways your Boss......
මේකත් සමගම මම ශ්‍රියාණි මිහින්දුකුලසූරියන්ගේ " අම්මා ඇතින්නකි " කියන අති සන්වේදී නිර්මාණයේ අවසන් කවියට යනවා.

දෙමව්පියන්ට තම දරුවන් සේම දරුවන්ට ද තම දෙමව්පියන් හා සම කල හැකි වෙනත් කිසිදු වස්තුවක් නොමැත්තේය.විශේෂයෙන් කුඩා කල දරුවන්ට ඔවුන්ගේ පරමාදර්ශී චරිත වනුයේ ද තම දෙමාපියන්ය. බොහෝ විට පියාය. ඔහු දරුවාගේ ලෝකයේ වීරයාය.
. යුග පුරුෂයාය.
ඒ වුනත් ශ්‍රියානියන් ඇයගේ නිර්මාණයේ ඒ අවසන් කවියේ මෙහම කියනවා .
මගේ බුදු තාත්තේ බොන්නේ ඇයි ඔහොම
අසනා කලට නොසරුප් බස් තෙපලාම
කම් නැහැ තාත්තේ පව් පිරුණත් බෝම
අප දා නොයන්නේ ඇයිදැයි සිතුනාම."
මා ඉහතින් සඳහන් කල සේ මේ තාත්තා තව දුරටත් ඒ දරුවාගේ යුග පුරුෂයාද?

දරුවාගේ ලෝකයේ වීරයාද? පරමාදර්ශී චරිතයක්ද?
දරුවෙකූට තම පියාගේ නික්ම යාමක් අපේක්ෂා කිරීමට තරම් මනස හැඩගැසීමට කොතරම් නම් පීඩනයක් විය යුතුද? ශ්‍රියානි ඒ පීඩනය අප වෙතද ඇති කිරීමට සමත් වී ඇති නිසයි මා සඳහන් කලේ මෙය අති සංවේදී නිර්මාණයක් ලෙස.
මා ඉහතින් සඳහන් කල ඉංග්‍රීසි වැකියේ මෙන් කොතරම් වැරදි කලත් ඒ තාත්තා හැම විටම තමාගේ තාත්තා යන්න පිලි ගැනීමට මේ දරුවා සුදානම්ද?
මේ සමස්ත නිර්මාණයේ අර්ථය කැටි කර ගතහොත්, එය බීමත් පියෙකුගේ හිංසනයට ලක්වන තම මව ගැන දරුවකුගේ සිතේ ඇතිවන ශෝකාලපයක් පමණක් ලෙසින් දැක්විය හැකිය.
නමුත් මේ නිර්මාණය තුල ඉන් එහාට ගිය දෙයක් ප්‍රකාශය කිරීමට ශ්‍රියානියන් දරා ඇති තැතක් මට ගම්‍ය වනවා.
" සඟවා කඳුල හොරැහින් ඉකි බින්දාම
අම්මා ඇතින්නකි දුක ඉවසූ බෝම "
තම ජීවිතය යට කරගෙන පැමිණෙන අනෙක විද සියලු දුක්ඛ දෝමනස්සයන් හමුවේ තම කඳුළුද සඟවා, බොහෝ විට තම දරුවන් වෙතින් පවා සඟවා එතකින්ද නොනැවතී තම සැමියා හැරපියා නොයෑමේ ආසියාතික බිරියන්ටම පොදු වූ ධර්මතාවය ඉහත කවි දෙපදයෙන් මනාව පිළිබිඹු වෙන බව මාගේ හැගීමයි.
නිර්මාණය රසවත් ලෙස ඉදරිපත් කිරීමට ශ්‍රියානියන් සමත්වීම ගැන විවාදයක් නැත. ඒත් නන්දා මාලිනියන්ගේ බුදු තාත්තේ බොන්න එපා තැනින් පටන් ගත්තත් මෙවැනි අනුභුතියන් රැගත් නිර්මාණයන් කොතෙක් නම් බිහි වී ඇත්ද?එවැනි නිර්මාණයන් යලි යලි රසිකයන් වෙත ඉදිරිපත් කිරීම යනු නිර්මාණකරුවන්ට නව අනුභූතීන් සොයා යාමේ නොහැකියාව පෙන්නුම් කිරීමක් කියලයි මා නම් හිතන්නේ. මගේ මත්කය නිවැරදි නම් ශ්‍රියානියන් මෙයට පෙර ද මෙවන් නිර්මාණයක් කර ඇති බව සඳහන් කල යුතුය. --- නිමි----- 

No comments:

Post a Comment