Wednesday, June 10, 2015

කවි ලියන මහතුනේ ---- Shriyani Mihindukulasooriya


කවි ලියන මහතුනේ


ආවාට ලප පිරුනු
මා සම නොකරන්න
පැල්ලම් මකා ගත්
සඳලතාගේ වතට.
දැළි කුණු සායමින්
ලප කැළල් වසා ගත්

සබාවේ කුණු අදින
පාර්වතියගෙ වතට
සම කරන් මගේ වත
මහතුනේ කවි ලියන.


අහසින් ගලා'විත්
පෙම්වතිය සිප ගන්න
පෙම්වතුන් මුමුනනා
පෙම් බස් අහගන්න

පෙමින් වෙලි සයනයක
උං සමග සැනහෙන්න
කවි ලියන මහතුනේ
එපා යළි පවසන්න.

රෑ මුරය අහවරව
මුවැත්තියො පා නගන
විඩාපත් උං දෙපා
සඳ දියෙන් දොව දොවා
සිහිල් සිහිලක් දෙන්න

සලෙලුන් ඉගි මරන
මගට එළියක් වෙන්න
කවි ලියන මහතුනේ
මා හට ඉඩ දෙන්න.


----------------------------------------------------

හුඟාක් ඈත අතීතයට යන්නේ නැතිව අපි සංදේශ කාව්‍ය ලියවුනු කාලය වෙත අවධානය යොමු කරමු. එතැන් පටන් මේ දක්වා ' සඳ " නමැති සුන්දර වස්තුවට උපමා වුයේ එවන් සුන්දරම වූ උපමෙයන්ම්ය. සංදේශ කාව්‍ය නිර්මාණ කරුවනුත් එහෙමමය. අරන් බලන්නකෝ හංස, ගිරා, ලිහිණි, කොවුල් , සැවුල් සංදේශ කාව්‍ය පොතක්. පෙරලන්නකෝ සැන්දෑ වර්ණනාවකට . කියවන්නකො අපේ සංදේශ කාව්‍ය කරුවෝ සඳට උපමා කරලා තියෙන ඒවා මොනවද කියලා. කතා දෙකක් නැහැ . කාව්යෝක්තිය අතින් කොතරම් උසස් වුනත් සුන්දර දේවල්ම තමයි උපමෙයන් වෙලා තියෙන්නේ. බොහෝ විට ස්ත්‍රී වර්ණනාවන් සහ ශ්රුන්ගාරය උද්දීපනය කරන්න සඳ යොදාගෙන තියෙන බව ඒවායින් හොඳටම පේනවා. කව් සිළුමිණේ මේ කවියත් කියන්නකෝ.

" වැද සෙමෙර සේ දිගත දිගඹුවනට සිඳුවර

මිහිකතට අඟරා හෙළ වැජඹී සුපුන් සිසිමෙරජ"

ඒ කවියේ අදහස මෙන්න මෙහෙමයි.

සම්පූර්ණ සඳේ රැස් සමුහය ලෝකය ඉසිලු ඇතුන්ට සෙමර වල්ගා ලෙසද , දිශා නමැති කතුන්ට සිඳුවර කුසුම් ලෙසද, මිහි කතට සුදු සඳුන් ආලේපයක් ලෙසද බැබලීය.

ඒ කවියන්ගෙන් පාරම්පරිකව පැවතෙන ජානගත හුරුව නිසාදෝ අපේ මෑත කාලීන කාව්‍ය නිර්මාණ කරුවන්, ගේය පද රචකයන් සහ මුහුණු පොතේ අපේ සහුර්ද ආධුනික කවි කිවිඳියන් ද ඒ සුන්දර වස්තුන් සඳහාම "සඳ" හොඳ මෙවලමක් කරගෙන තියෙනවා. මම කියන්නේ බොරුද කියල බලන්නකෝ අපේ කීර්ති පැස්කුවල් ගායකයා මොනවාද කියන්නේ කියලා.

" සඳලතා පායලා - මල් වැට ගාව ඉරිමා උදේ

ඇගේ පරිවාර තරු වැල් වගේ

සඳුට උපමා ඔබයි ළඳුනේ - මටයි හැඟුනේ ආදරේ.....

එහෙම උපමා කිරීමෙන් බැහැර වුනු ගෙය පද රචකයෝ බලන්නකෝ සඳ ගැන කියන කතා. අපේ අමරදේවයන් තමයි මෙහෙම කියන්නේ..

" සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා

වලා රොදක සැඟවිලා

අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා..........." සඳ කැත වැඩකටත් සම්බන්ධ කරලා. ඔයාල අපිවත් අනුන්ගේ ආදර කතා එහෙම අහනවාද? හරි අපි එක එහෙමයි කියමුකෝ.

අපේ ප්‍රවීණ සංගීතවේදී දර්ශන වික්‍රමසිංහ යන් හා ප්‍රවීණ ගායිකා ශෂිකා නිසන්සලාවන් හා එක්ව අපේ මුහුණු පොතේම කිවිඳියක් (මේ දිව අග නම තියෙනවා, නමුත් මතකයට එන්නේ නැහැ) එයාගේ ගෙය පදයක මෙහම කියනවා.

" තවත් සඳකට තනි රකී නුඹ - එ සඳ ළඟ තරුවක් වෙලා..."

ශ්රුන්ගාරයට පමණක් නොවෙයි විරහවට පවා සඳ යොදා ගන්න අපේ කවී කිවින්දියෝ පසුබට වෙන්නේ නැහැ.
මෙවන් පසුබිමක තමයි ශ්‍රියාණි මිහින්දුකුල්සූරියන් " කවි ලියන මහතුනේ" නමින් අපූරු නිර්මාණයක් රසික අපිට තිලින කරන්නේ.
සඳ කියනවා මෙතෙක් කළා වගේ පියරු බබාලට එයාව උපමා කරන්න එපා කියලා. ඊට වඩා උසස් දෙයක් වශයෙන් සඳ කියන්නේ ඇයව (මහනුවර) නගර සභාවේ පවිත්‍රතා කම්කරු පාර්වතී ට සම කරන ලෙසය.
එතනින් නොනවතින ශ්‍රියානියන් (සඳ) කියන්නේ සීනි බෝල , තොරොම්බල් ආදර වන්තයන් සඳහා වුවද තමාව උපමා නොකරන ලෙසය. මෙතෙක් අපේ කවියෝ කලෙත් කරන්නෙත් එයම බව සඳ හොඳින් දන්නා බව එමගින් අපට කියාපායි.

එහම කවි ලියන මහතුනට අනියමින් තහන්චියක් පනවන සඳ කියන්නේ කුමක්ද/

මගේ සඳ රැස් මින් පසු රෑ වැඩ මුරය නිමාකර පා නගන අහිංසක යුවතියන්ගේ පා දොවන සඳ දිය ලෙසිනුත්, අඳුරේ ඒ යුවතියන්ට ඉඟි බිඟි පානා සලේලුවන්ට ඒ සඳහා තම ආලෝකය අවහිරයක් වන ලෙසිනුත් කවි ලියන ලෙසය.

මාගේ මතකය අනුව මෙවන් ප්‍රස්තුතයක් මෑතකදී කිසිවකු විසින් හෝ තම නිර්මාණයන් සඳහා උපයෝගී කර ගෙන නොමැත. ඒ නිසා ශ්‍රියානියන් තම සහෝදර කවීන්ට "සඳ" උපමා කිරීමේදී කලයුතු දේ මෙයයි කිසියම් ඉඟියක් දී ඇත. නැවතත් මම කියමි. සහෝදර කවීන්ටම පමණි, කිවින්දියන්ට නොවේ.

ඇයි, ශ්‍රියානියන් කියන්නේ " ක වි ලි ය න ම හ තු නේ " කියලනේ .

ඒ කියන්නේ කිවින්දියන්ට නොවේ. කවි ලියන නෝනා වරුන්ට නොවේ.

එකනේ කවි ලියන මහතුන්ට එහෙම කියන මේ කවි ලියන නෝනා එයාගේ ගෙය පදයක මෙහෙම ලියන්නේ.

" තවත් සඳකට තනි රකී සඳ
එ සඳ ළඟ තරුවක් වෙලා............

(නිමි). ---සිසිර ගමගේ-----









Tuesday, June 9, 2015

ඕ තාමත් ගලා බසින්නීය - Nayana Wanninayaka


ඕ තාමත් ගලා බසින්නීය....


වළා අතුල මුදු යහනක ඉපදී
නිල් කඳු ඔවිල්ලක නැළවී
මල් තුරු වදුලේ දඟ පාමින්
ගලා බැසගියා දඟකාරී ඇය..


සරණ ගිය දා කළු ගල්කුළකට
හසුවී මිරිකී රළු දැඩි සිරුරට
තල්ලු කළත් ඈ ඇල්ලෙන් පහලට
විලාප දෙද්දීත් පෙන පිඩු සළමින්
යැද්දා ඈ සුන්වුනු ජීවිතයම යළි
ගල්කුළ දෙපතුළ හඬා වැලපෙමින්


ආයාචනයෙන් පලක් නොමැති කළ
ගලා ගියා ඕ හිස හැරුණු අත
රුසුරු වන සතුන් අඳුරු කැළෑ මැද
තවත් එවන් වූ අතවර විඳිමින්


අවසානේ ඇය සේන්දු වූයේ
මහ මුහුද නම් මහළු මඩමටය.
පිහිටට ආවේ නා නා පෙදෙසින්
එලෙසම දුක් විඳ පණ බේරා ගත්
තවත් එවන් වූ ගංගාවෝමය


---------------------------------------

නිර්මාණකරුවෙකුගේ අනන්‍යතාව අපට හඳුනාගත හැක්කේ, ඔහු හෝ ඇය විසින් නිර්මානයක මතු කරන්නාවූ අපුර්වත්වය තුළිනුයි. අපුර්වත්වය යනු නිර්මානයක තිබිය යුතු සුවිශේෂ ගුණාංගයකි. නයනගේ නිර්මාණයන් තුල තිබෙන්නා වූ ඒ අපුර්වත්වය නිසාම මට ඔහුගේ අනන්‍යතාව පහසුවෙන් හඳුනාගත හැකිය. දැනට වසර ගණනාවකට ප්‍රථම ඔහු ලිවූ ඇතැම් නිර්මාණ පුවත් පත් තුලින් හා මුහුණු පොතෙන් කියවූ අවස්තාවන් වලදී පවා ඒ අනන්‍යතා ලක්ෂණයන් එලෙසින්ම දිස්විය.

මුහුණු පොතේ සෑම නිර්මාණකරුවෙකම හැමදාමත් ආධුනික නිර්මාණකරුවන් වශයෙන් හැඳින්වීම යුතු නොවේ. එය නයන සම්බන්ධයෙන් නම් ඉතාම තදින් බල පාන බව කිව යුතුය. ආධුනික බවෙන් ප්‍රවීණත්වයට පත්වන සීමා ඉර හෝ නිර්නායකයන් කිසිවක් මා නම් දන්නේම නැත. ඒ වුනත් මා නම් නයන ආධුනික කවියෙක් වශයෙන් හදුන්වා නැත. මම මේ පූර්විකාවෙන් ප්‍රවේශ වන්නේ නයනගේ "ඕ තවමත් ගලා බසින්නීය" ගැන කෙටි සටහනක් ලිවීමටය.

පහසුවෙන් කෙනෙකුට ස්පර්ශ නොවන ඉසව් සිය නිර්මාණ සඳහා සොයා යාමේ හැකියාව ප්‍රබල අන්දමින් ප්‍රකටකරන නිර්මාණ කාරිය@Mudu Rekha බව කිව යුතුමය.( මාගේ මිතුරු හමුව තුල) නයනද එවැන්නෙකි. ඒකාකාරී අනුභූතීන් ගෙන් කොතරම් අලංකාර නිර්මාණයක් කලද එහි නවතාවක් දැකිය නොහැකියය. නමුත්' " ඕ තවමත් ගලා බසින්නීය" නයනව ඔසවා තබන නිර්මානයක් ලෙසින් හැඳින්වීමට මම මැලි නොවෙමි.

බැලු බැල්මට ඇලක්, දොළක්, ගඟක්, සයුරක්, දිය ඇල්ලක් යනු නිර්මාණ කරුවන් විසින් පට්ට පතුරු ගසනු ලැබුවාවූ ඒකාකාරී අනුභුතීන්ය. එත් නයන එය තම නිර්මාණය තුල හසුරුවා ඇති ආකාරය ට එය නවතාවකින් යුතුව අපට රස විඳිය හැකිය. ආදරයට ප්‍රේමයට වඩා මනරම්ය.නයන අපේ පැරණි කවීන් මෙන් හෝ බොහෝ නුතන ගේයපද රචකයන් මෙන් දිය ඇල්ලේ ලාලිත්‍ය ගැන වර්නන කිරීමට සුදානම් නැත. බොහෝ නිර්මාණ කරුවන්ට ස්පර්ශ නොවන්නාවූ එහි කර්කශක බවම හුවා දැක්වීමට ගත උත්සාහය සාර්ථක වී ඇත.

මහගම සේකරයන් වුව කියන්නේ ගංගා සමනොළ සිරසින් පැන නැංගා කියල. බලන්නකෝ, අපේ නයන ඊටත් එහා ගිහිල්ලා තියෙන අපූරුව. මම මෑතක දැකපු අපුරුතම යෙදුම.

" වලා අතුල මුදු යහනක ඉපදී

නිල කඳු ඔවිල්ලක නැළවී "

එතකොට අර ඔමරි පපා ගලා හැලෙන දිය ඇල්ලේ උපත මුදු නීල වලා පෙළක. ඒකත් යහනකට උපමා කර ඊට පස්සේ නැලවෙන්න තොටිල්ලකුත් හදල දීල." නීල කඳු ඔවිල්ලක නැළවී" අපූරුයි නයන.මතු සම්බන්ධයි)

නිසඳැසක වුනත් තියෙන්න ඕන රිද්මය මේ නිර්මාණයේ මුල් කවි තුනේම මැනවින් ගලාගෙන යනවා. නමුත් නයන කියන්න කනගාටුයි. තුන් වැනි කවියෙන් පස්සේ මේ අපූරු නිර්මාණකරුවා බාලාංශ පන්තියේ ඉන්දගෙන තියෙනවා වගෙයි. අවසාන කවිය පටන් ගන්නේ රචනාවක් ලියන්න පටන් ගන්නවා වාගෙය. නැත්නම් News කියන්න වාගෙය. රිද්මය පැත්ත පළාතක නැත. වාර්තාමය ස්වරූපය කියන එකේ හොඳම එක. නමුත් එකේ අර්ථ රසයට නම් මා ඉතා කැමතිය.නිර්මාණය නිමා කලයුතුය කියන කලබල මානසිකත්වයෙන් අවසාන කවිය පබන්දුවා කියල කියනවා හැර වෙන නම් කියන්න දෙයක් නැත.

එක එහම වුනාට මා මුලින් කී අපූර්වත්වය නිසාම මම මේ නිර්මාණය අගය කරමි. ඔබ වැන්නන්ගේ නිර්මාණයන්හි සුළු වැරදි අඩුපාඩු වුව අපට රුස්සන්නේ නැත. ඇලපිල්ලක් පාපිල්ලක් පවා.

(නිමි)





ශාමිලා........ තරංගනී



ඉපිද මියයන වැවේ රළ මත හිනාවෙන පෙණ හැංගිලා
අපව දැකලද ගලාගෙන විත් දෙපා සිඹිනව දැවටිලා
දිලෙන රන්කොත් වෙහෙර මුදුනින් රාමසන් හඳ පායලා
මගේ සුරතේ වෙලී දැවටී ඇවිද යමු අපි ශාමිලා

උතුම් බුදු හිමි කියාදුන් බණ හිඳී හදමත පේවෙලා
ඉතින් සෙනෙහස තරම් දහමක් කොහෙ තියෙන්නද බිහිවෙලා
මගේ ගෙලවට වැදී යන නුඹෙ සුසුම් සුවඳක හැංගිලා
මගේ ආගම නුඹේ ජතිය ලියා තිබුනද ශාමිලා

අපේ ආදර කතාවක රස නිවී යන නෙතඟින් බලා
තිලෝගුරු හිමි අහන් හිටියා පිළිමගෙයි තැන්පත් වෙලා
පල්ලියේ ගල් බැම්ම පාමුල පළස හොඳටම තෙත් වෙලා
දෙනෝ දහසක් දෙපා පිස්සේ නුඹේ කඳුළින් ශාමිලා

නුඹේ නළලත වැහුනු සළුවෙන් පොටක් සුළගට පාවෙලා
ඇඳී අවුදින් මගේ සවනට සින්දු කියනව ලන්වෙලා
මහා දම්සක් සුතුර වාගෙම අහන්නම් මම පේවෙලා
කුරාණය ...ගැන මටත් හෙමිහිට කියල දෙනවද ශාමිලා

අපේ ආදර කලාලය මත සිරිත් කුලගොත් වැතිරිලා
එකම එක හිස් ඉඩක් තිබුනොත් අපිත් හිඳගමු සැනසිලා
දෑතකට ඇදි ඇදී විඳවන අපේ හදවත් අකුලලා
පංසලේ බුදුමැදුර ඇතුලේ හංගමුද අපි ශාමිලා..

..තරංගනී... —


----------------------------------------------------------------------


මගේ මතකය නිවැරදි නම් තරංගනී දිල්රුක්ෂි ජයසෙන නම් දියණිය මේ නිර්මාණය කලේ මෙයට වසරකට ඉහතදී විය යුතුය.මේ නිර්මාණයට පිළිතුරු කවියක් කල ශාමිලා හුසේන් දියණිය මා හැඳින ගතේද මේ නිර්මාණය තුලින්. .ඉන්පසු ඒ සමගම ශ්‍රියානි මිහින්දුකුලසූරියන් ඇතුළු බොහෝ දෙනෙකු හැඳින ගැනීමට පාදක වූ නිර්මාණයක් නිසා මම එයට බෙහෙවින් ප්‍රිය කරමි.
දැනට සති කීපයකට පෙර වත්තල Kandy වෙළඳ ආයතනයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම මේ නිර්මාණය යලි මතු වීමට හේතු වුවා විය හැකිය. මෙම සිදුවීම හා නිර්මාණයේ කියවෙන ආගම් අතර සමපාත බවක් නොවුවද ප්‍රස්තුතය එකම නේද යන්න මට සිතේ.
මුස්ලිම් තරුනියකගේත් සිංහල තරුනයකුගේත් ප්‍රේමයක් පාදක කරගෙන නිර්මිත මේ පැදි පෙළ ඉස්ලාම් සහ බුදු දහම යන ආගම් දෙකේ පිළිබිඹු වන සරල සංකේතයන් වලින් අලංකාර වී ඇත.
දිලෙන රන්කොත් වෙහෙරේ කොත මගින් බුදු දහම සංකේතවත් කරන තරංගනී අහසේ පායන රාමසාන් සඳ මගින් ඉස්ලාම් අආගම සංකේතවත් කරනවා.එතනින් නොනවතින ඇය බුදු ගෙයි තැන්පත් කර ඇති පිලිම වහන්සේ සහ පල්ලියේ ගල් බැම්ම පාමුල ඇති පලස ඒ ආගම දෙක සංකේතවත් කරන්න උපයෝගී කර ගැනීමද ප්‍රසංසනීයයි.එයින්ද නොනවතින රචිකාව ආගම් ද්විත්වයේ ධර්ම ග්‍රන්ථ ද , එනම් දම්සක් සුතුර සහ කුරානය තම නිර්මාණය සඳහා යොදා ගන්නවා. ඉස්ලාම් ආගමට කුරානය නම් බුදු දහමට ත්‍රිපිටකය විය යුතු නිසා එය මෙම නිර්මාණයට යොදා නොගත්තේ ඇයිදැයි සමහර රසිකයෙකුට කුකුසක් ඇතිවීම අසාධාරණ නොවේ.
මා හිතන්නේ තරන්ගනී මුස්ලිම් දැරියගේ අනන්‍යතාව මේයයි සිය නිර්මාණය තුලින් කියාපෑම කල යුතුයැයි සිතු නිසා මෙහම යෙදුමක් යොදාගන්නවා.
" නුඹේ නළලත වැහුණු සලුවෙන්පොටක් සුළඟට පාවෙලා
ඇදී අවුදින් මගේ සවනට සින්ඳු කියනවා ලංවෙලා.....
ඒ අනන්‍යතාව කියාපානවත් සමගම එයට උපයෝගී කරගත් සිනිදු සලුපොට ඔහුගේ සවනට ගීතයක් මුමුණන සෙයක් ද රචිකාව පවසනවා. ඇය ඒ අවස්ථාවේ කුරානය හා සමපාත විය යුතුයි සිතා " ත්‍රිපිටකය " යන්න යෙදුවා නම් නිර්මාණය ලස්සන වන්නේ නැත. ඒ සවනට මුමුණන ගීතය ඇතැම් විට ඉස්ලාම් ගීයක් විය හැකිය. එත් තරුණයාට එයද මනහර හඬින් සජ්ජායනාවෙන දම්සක් සුතුර ලෙසින් ශ්‍රවනය කිරීමට තරංගනී ඉඩ හසර ලබා දීම අත්තෙන්ම් ඇයගේ කාව්‍ය නිර්මාණය තුල දක්වන ප්‍රතිභාව මොනවට කියා පාන්නක් බව කිව යුතුය.
ආගම් දෙකක මේ යුවති පති දෙදෙනාට ඉඳ ගැනීමට ඔවුන්ගේ ආදර කලාලය මත ඉඩක් නොමැත. ඒ එය පුරාවටම කුල සිරිත්,ආගමික තහංචි ආදිය වැතිර ඇත.එත් ඔවුන් එකම එක හිස් ඉඩක් හෝ බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ආදරය සාක්ෂාත් කර ගැනීමටය.
දැඩි මතධාරී පල්ලියෙන් කිසිදු පිහිටක් නොලැබෙන බව දන්නා තරුණයා තම හදවත් අකුලා බුදු ගෙය තුල හංගන්න තැත් කරන්නේ ඒ නිසා නොවේද?
අගනා නිර්මාණයක් .සංවේදී නිර්මාණයක්.
එත් මෙවැනි ප්‍රස්තුතයන්ට අදාළ සැබෑව හා නිර්මාණය අතර පරතරය නම් තවම අඩුවී නොමැත.

මිය ගිය දිනෙක.... - Manjuni Vidanage



මියගිය දිනෙක මගෙ හදවත නිසල වෙලා...
පැමිනෙනු මැනවි මගෙ තනියට වරක් ඔයා...
සමන් පිච්ච මල් පැලයක් සොහොනේ තියා...
ඔබෙ ආදරේ පවසනවද මගෙම කියා ...
ඉපදෙන සෑම අත් බවයෙම මගෙම වෙලා...
ඔබ ඉනු මැන ලඟින් මගෙ අවසන් පැතුම එයයි..

------------------------------------------------------------



නිසඳැසක වුනත් තියෙන්න ඕන රිද්මය නිර්මාණයේ මුල් පද පහේම නොබින්දී මැනවින් පවත්වාගෙන යන්න මන්ජුනි සමත් වෙලා තියෙනවා.. නමුත් ඒ රිද්මය අවසන් පදයෙන් සම්පූර්ණයෙන් බිඳිලා ගිහින්. වාර්තා ස්වරූපයක් දනවන පදයක් බවට පත් වෙලා. එක හරියට ලිපියක් ලියා අවසානයට" මෙයට ඔබගේ සදාදර , නොවෙනස් මන්ජුනි" කියල ලියනවා වගේ. මම මන්ජුනි නම් එයාට කියන්නේ සමන් පිච්ච මල් පැලයක් තියන්න කියල නෙමෙයි, " සමන් පිච්ච මල් පොකුරක් කියන්නත් බැහැනේ. ඇයි , ඔලු, නෙලුම්, මානෙල්, රෝස, අරලිය, ඇන්තුරියම් වගේ සමන් පිච්ච පොකුරක් විදියට ගන්න පුළුවන් මල් වර්ගයක් නෙමෙයිනේ.
මං හිතන්නේ ඒ හින්දා තමයි මන්ජුනි සමන් පිච්ච පැලයක් තියන්න කියල කියන්නේ. ඒ වුනත් සොහොනේ මල් පැලයක් තියන්න කියන එක ලස්සන යෙදුමක් නෙවෙයි. ගැලපෙන්නෙත් නැහැ.
එත් මන්ජුනිට සොහොනේ මොනවා හරි තියන්නම ඕනේම නිසා කරන්න දෙයක් නැහැ සුලභ යෙදුමක් තමයි දාන්න වෙන්නේ.
"සුදු අරලිය මල් පොකුරක් සොහොනේ තියා"- ඔබේ ආදරේ පවසනවද මගේම කියා"
මම ලිව්වානම් ඔය කවිය, අන්තිම පදයෙ රිද්මය රඳවා ගන්න ඕන නිසා
" ඉපදෙන සෑම අත් බවයක මගේම වෙලා
ඔබ ඉනු මැනවි හැමදාමත් ලඟට වෙලා " කියල ලියනවා

මගේ නාමල - Shriyani Mihindukulasooriya


මගේ නාමල..
අඟනුන් නොබැලුවද නුඹ දෙස සුවඳ නැතී
මට නාමලකි මල් ගොමුවක සුවඳ ඇතී
රෝස කරත්තෙට කසළින් පිරී ඇතී
නුඹ පෙම් කරන්නෙද.., කල මා ළඟක නැතී

අදිනා කසළ.., දෑතට ලැජ්ජාව දැනී
පිලිකෙව් නොකල බව මා හිමි නුඹද දනී
නාලා සොඳින ගෙට එන කල කවුරු වැනී
රන්කඳ මගේ මට නම් පිපි මලක් වැනී

නරකාදියකි මාවත් නුඹ වැඩක නැතී
සඳළු තලෙන් නොසරුප් බස් ගලා එතී
සුවඳ හමන මිනිසුනි සිත් කසළ ඇතී
මා හිමි නොමැති සඳ..,කුණු ගඳ පරල වෙතී.

-----------------------------------------------------------

පන්තිය 1 වසර . ඒ කියන්නේ ජීවිතයේ ප්‍රථම වරට පාසල් ගොස් ඉඳ ගන්නා පන්තිය. දැන් හොඳ ළමයි වගේ කියන්න බලන්නකඔයගොල්ලන්ගේි තාත්තාලා මොනවද කරන්නේ කියලා.
' ටීචර් අපේ තාත්තා නගර සභාවේ කුණු ලොරියේ වැඩ කරන්නේ. තාත්තා ලොරිය යන කොටත් දුවලා දුවලා එකේ එල්ලෙනවා. තාත්තා සෙල්ලම් බඩුත් ගෙනාවා. හුඟාක් ඒවා කැඩිලා. තාත්තා ඒවා හදලා දෙනවා. "
ඒ දැරියට නගර සභාවේ කුණු අදින සිය පියා පරමාදර්ශී චරිතයක්. දැරියගේ ලොවේ වීරයෙක්.සමාජ තරාතිරම, ගැන ඇයට වගේ වගක් නොමැත.
එවන් පරමාදර්ශී චරිතයක් තමයි මෙවර ශ්‍රියානි මිහින්දුකුලසූරියන් සිය කාව්‍ය නිර්මාණය වශයෙන් ඉදිරිපත් කර ඇති " මගේ නාමල" ට පාදක කර ගනුයේ.
ඔහුගේ සුපෙම්බර බිරිඳගේ සිතිවිලි තුලින් ඔහුගේ පමණක් නොව එවන් දුක්ඛිත චරිත සමුහයේම එක පැතිකඩක් විදාරණය කිරීමට ශ්රියානියන් ගෙන ඇති උත්සාහය සාර්ථක බව මුලින් සඳහන් කල යුතුව ඇත..
සාමාන්යෙන් නිර්මාණ කරුවන් ශ්රුන්ගාර රසයම උද්දීපනය වන අනුභූතීන් සොයා යන පසුබිමක බීහත්ස්‍ය රසය ජනනය වන අනුභූතියක් ස්පර්ශ කිරීමේ අභියෝගය භාර ගැනීමට තරම් ශ්‍රියානියන් දිරිමත් වීම සතුටක්.
තම සැමියන් දෙස අන් අඟනුන් නෙත් හෙලීම, අවධානය යොමු කිරීම තරම් ඉවසිය නොහැකි වෙනත් දෙයක් නැති තරම්ය. ඒ අඟනුන් තුල ස්වභාවයෙන්ම
පිහිටා ඇති ඊර්ෂ්‍යා පරවශ භාවය නිසා විය යුතුය..කෙසේ වෙතත් ශ්‍රියානියන් වුව නොහිතනා සියුම් උපහාසයක් සිය නිර්මාණය තුලින් ඇතැම් කාන්තාවන්ට එල්ල කර ඇත.ඒ සුවඳ ඇත්නම් ඇතැම් අගනුන්ද අන් පුරුසහයන් දිහා බලන බවකි.
එහෙත් අපේ කතා නායිකා බිරියට නම් සුවඳ නැති තම සැමියා දෙස අඟනුන් නොබැලීම සම්බන්දයෙන් නම් ඇත්තේ සියුම් කනගාටුවකි. ඇය එය එක එල්ලේ නොකීවද ඇය විසින් කරනු ලබන ප්‍රකාශයෙන් එය ගම්‍ය වේ.
" අඟනුන් නොබලුවද නුඹ දෙස සුවඳ නැති " ..........................
සුවඳ නැති තම සැමියාව අන් අය පිළිකෙව් කලද ඇයට ඔහු සුවඳ හමන නා මලකි. ඇයත් , ඔහුත්, කසල කරත්තයත් හැර බාහිර ලෝකයෙ කිසිවක් ඔවුන් හා බද්ධව නොපවතී. අන් අගනුන් හා පෙම් කිරීමක් ගැන සිහිනෙකින් හෝ සිතිය නොහැකි නිසා ඇය ළඟ නොමැති කල ඔහු කසල කරත්තය ට පෙම් කරන්නේද යන්න අසන ආකාරය මට නම් අනුවෙදනීය බවක් දනවයි. ඒ කසල කරත්තය ද ඇයට රෝස කරත්තයකි.
" රෝස කරත්තෙට කසලින් පිරී ඇති
නුඹපෙම් කරන්නේද - කල මාළඟක නැති"
විටෙක මල් ගොමුවක සුවඳ හමන නා මලක වන ඔහු තවත් විටෙක පිපි මලෙකි. තවත් විටෙක රන් කඳකි.
නිර්මාණයේ පළමු හා දෙවන කවි වලින් සිය සැමියා ගැන ආදරයෙන්, ප්‍රේමයෙන්, සෙනේහයෙන්, ලෙන්ගතු කමින් කතා කරන අප කතා නායිකාව අවසාන කවියෙන් තම සැමියා ගැන ඇති අභිමානය ප්‍රකට කරවීමට ගන්නා උත්සහය කදිමය.
තම සැමියා සේවය නොකරන තාක් කල් මාවත්, වීදි සියල්ල නරකාදී මෙන් වන බව ඇය පවසයි. ඒවා දිව්‍යලෝක ලෙසින් දර්ශනය කිරීමේ හැකියාව ඇත්තේද තම සැමියාට බව ඇය රසික අපට අවධාරණය කරයි.
කෙනෙකු පරලවීම යනු ඇතැම්විට ආතුරයෙකු අතිශයින් දරුණු වීමේ උච්චස්ථානයකට පත් වීමක් විය හැකිය. ඒ පරලවීම මෙල්ල කල හැකි වනුයේද ඇදුරෙකුටම පමණි. කසල නමැති ආතුරයා පරල වූ විට ඔහු මෙල්ල කිරීමේ, සුවපත් කිරීමේ හැකියාව ඇත්තේ තම සැමියාට බව ඇය කියා පාන්නේ කොතරම් නම් අභි මානයකින්ද?
මෙවන් ප්‍රස්තුතයක් තුලින් සාර්ථක නිර්මාණයක් බිහි කිරීමේ ලා ශ්‍රියානියන් දක්වන ප්‍රතිභාව නම් වර්නනාවිශයක්රාන්තිය.
-- නිමි---
---සිසිර ගමගේ--


2


බොහෝ දෙනා එකඟ නොවුනත් මා විශ්වාස කරන දෙයක් තමයි දෛවය විසින් අපට මේ මිනිස් සමාජය තුල යම් යම් භූමිකාවන් පවරා තියනවා කියන එක.( (එකෙන් මම අදහස් කරන්නේ නැහැ සියල්ල දෛවයටම පවරා උත්සාහයෙන් බැහැර වී සිටිය යුතූයි කියා). ඉතින් අරයගෙ මහත්තයා Executive, කෙනෙක්, Supervisor කෙනෙක්, officer කෙනෙක්, එහෙම නැත්නම් අරයගෙ මහත්තයා රාජ්‍ය සේවයේ , කියා මන්දෝත්සාහි වෙමින් අනේ මගේ මහත්තයාට එහෙම වෙන්න බැරි වුනානේ කියා සිහින ලොවේ අතරමන් වෙන FANTASY බිරින්දාලට ශ්‍රියානියන් ගේ මේ නිර්මාණය අතුල් පහරක් නොවන්නේද?
මගේ මුල් සටහනේ වඩාත් ගැඹුරින් මට අවධාරණය කල නොහැකි වූ දෙයක් Mudu Rekha වන් විසින් අවධාරණය කර තිබීම සතුටට කරුණක්. මේ නිර්මාණය සඳහා ලැබුණු ප්‍රශස්ත ම ඇගයීම එය ලෙසින් සඳහන් නොකලොත් අසාධාරණයක් වනු ඇත. නැවත කියවා බලන්න ඇගේ සටහන.ශ්‍රියානියන් ඇයගේ නිර්මාණය තුලින් අප හමුවට කැඳවා ගෙන ඒ ගැහැණිය වෙනුවෙන් Mudu Rekhaවන්ගේ අර්ථ දැක්වීම. එයට ආරෝපනය කරන නාමයන්.ඇත්තෙන්ම එවන් බිරියන් වන්දනීය නොවන්නේද? ශ්‍රියානි , නිර්මානකරුවෙක් සිය නිර්මාණයක් තුලින් සමාජය වෙත විදාරණය කලයුතු දේ කුමක්ද යන්න ඔබ මැනවින් වටහා ගෙන ඇත. නිර්මාණය ක් හුදෙක් නිර්මාණ කරුගේ ආත්ම තෘප්තිය උදෙසාවත් රසික රස වින්දනය උදෙසාවත් පමණක් නිමවුණු ශ්රුන්ගාරාත්මක පද වැලක් නොවිය යුතුය යන්න මාගේ විශ්වායයි.


හිතවතිය හමුවුනෙන්-- මුදු රේඛා


හිතවතිය හමුවුනෙන්.

ඇඟමැලිව තේ කහට ඩිංඟකින් කාපු රොටි

පිනිවැටෙන කිරි හිනා පාසැලක දුවපු පිටි
ඇල්බීසි බංකුවේ තෙරපෙමින් එකට වැටි මතකයිද වැලි බිස්සෙ අපි ලිව්ව අකුරු කැටි


ගල්කිරපු අඹ ලෑලි එකට ඇන තියන් ගැටි
හිට්ටවපු කෝම්පිට්ටුව තලා ඇනපු මිටි
දඟකරපු නෑම්බියො පැලු කැකිරි කාපු ගුටි අක්බඹුරු ලිහා ඇලෙ එකට ජබු ගහපු හැටි

කුඹුක්ගහ හන්ඳියේ ඇට මාල ඇන්න හිටි
ඇක්මන්ට දුවන්නට කොලිති කර යවපු පැටි
ලමිස්සියො කාලෙ හොරරහස් රැක පැනපු රිටි
රට්ටුන්ට ඔච්චමින් දොල දෙනියෙ හපපු විටි

බැහැරකට හිත්දිලා පෝරුමත දෙඅත් කිටි ඉවතකට කරකාර ගියද දිවි නොවුනි කෙටි
මද්දහනෙ ඉඟිකරන දිනක නර කෙසක නැටි
හිත්අරණ ගංඳෑල එතෙර ගැන හිතිද තොටි

වැලිමලුවෙ සිල් බිමක මගහැරුන සිලකි මැටි පින්සාර මං පෙතක ලිහි පලකි නොවුන ඇටි
හිතවතිය හමුවුනෙන් ජීවිතයෙ අරුමෙ දුටි
හැරගියෙද අප දමා රන් රුවන් එළොව කුටි

__මුදූ___








---------------------------------------------------------


සමකාලීන යෙහ්ලියකගේ නික්මයාමක් හා යාවුණු මතක ආවර්ජනයක් මුදු රේඛාගේ මෙම නිර්මාණයට පාදක වෙලා තියෙනවා.
වෙනත් කෙනෙකු මේ අනුභූතිය මෙලෙස නිර්මාණයකට පාදක කර ගත්තානම් යටගියාව පිලිබඳ මේ ආවර්ජනය සියයට සියයක්ම එලෙසින්ම ලියවෙන බවට නම් මට සැකයක් නොමැත.
එසේ වුවද, ඒ සඳහා භාවිත කරන බස් වහර හා ආකෘතිය සියයට සියයක්ම මෙයට ප්‍රතිවිරුද්ධ එකක වන බව නම් ඊටත් වඩා සැකයක් නොමැතිවැ පැවසිය හැකිය. වෙනත් වචනයකින් කිවහොත් මුදු රේඛා ගේ බස්වහර හා දශමයකින් හෝ සමපාත වන්නේ නැත.
මාගේ බාලකාලය පිළිබඳව ම නිර්මානයකදී මා කරනු ලබන ආවර්ජනයක් සඳහා මා බාල කල ව්‍යවහාර කල ළදරු වාග් මාලාවක් උපයෝගී කල යුතුයැයි නියමයක් නැත.
ඒ බව අපට වඩා මුදු රේඛා හොඳින් දනී. එසේ වුවද නිර්මානයක සාර්ථකත්වය සඳහා එවන් අවස්තාවක භාවිතා කල යුත්තේ කුමන අන්දමේ භාෂා විලාශයක්ද යන්න මුදු රේඛා මනාව පසක් කර ගෙන ඇති බව හොන්දින් පෙනේ.
අවුරුදු 80 ක පමණ වියැති යුවතියකගේ නික්මයාමක් ගැන සමකාලීනයකූ කරන මතක ආවර්ජනයක් සඳහා වත්මන් භාෂා විලාශයක් උපයෝගී කර ගත්තානම් එතනදී අනිවාර්යෙන්ම ඉස්මතුවනුයේ රචිකාවගේ භාෂා විලාසයයි. නමුත් මෙහිදී රචිකාව අභිභවා ඒ මහලු යුවතියගේ ගති ස්වභාවය,යටගියාවේ පැවැත්ම මනා චිත්ත රූපයක් ලෙසින් අප හමුවට දර්ශනය වීමට යොදා ඇති බස්වහර මනා පිටුබලයක් වී ඇති බව සඳහන් කල යුතුමය.
රොටියක් කා කහට දින්ගිත්තක් බී පාසල් ගොස් වැලි බිස්සේ අකුරු ලිවූ හැටි අද සමාජයට කොතරම් නම් ආගන්තුකද? ඒ ආගන්තුක බවම නිර්මාණය කොතරම් දුරකට සාර්ථක කර ඇත්ද/?
ඇල්බීසියා ලීයෙන් තනු බැංකුව, ගල් කිරීම, කෝම්පිට්ටු සෙල්ලම, කැකිරි පැලීම, දිය ඇලි වල ජබු ගැසීම වැනි වචන අපව වුවද වසර අසුවක අතීතයකට ගෙනයාමට මුදු රේඛා සමත් වී ඇත.
සාමලා, අමරලා නොව ලමිස්සිය්යන් සහ ඇක්මන්ලා , පෙම් ලීපි, ලේන්සු පොඩි රැගෙන නොව ඇට මාල ඇන්න සිටි අයුරු මුදු රේඛා කරන විස්තරය කෙතරම් නම් අපූරුද?
සම්මතය හා ගැටී අසම්මතය හ යා වුනාද ඇගේ දිවි කෙටි නොවූ බව ද රචිකාව පවසයි. නික්මගිය යෙහෙළිය හා සිල් බිමෙහි ගැවසුන ආකාරයත් ජීවිතයේ අරුමය මේයයි පසක් කර දෙමින් දිවියෙන් නික්ම ගිය හැටිත් විස්තර කර ඇති ආකාරය ත් මනහරය. (-- නිමි--)
-- සිසිර ගමගේ--

මතු බුදු වේමයි - තත්සරණි සමරසිංහ



මතු බුදු වේ මැයි

මා දරා විලිලා නොයෙක් දුක්,
උහුලලා දරු සෙනෙහෙ නාමෙන්,
තිළිණයක් ලෙස ජීවිතය දුන්,
පිනට ඔබ මතු දිනෙක බුදු වෙයි..


කුසට අහරද හිසට දැනුමද,
සිතක කරුණා ගුණ වගා කර,
මහමෙරක්වන් දිවිය පැහැදු,
පිනට ඔබ මතු දිනෙක බුදු වෙයි..

හොඳ නරක පැටලී මුලාවී,
ලොවම එරෙහිව එදිරි වූ දින,
ඉන්ද්‍රඛිලය ලෙසින් ළඟ රැඳි,
පිනට ඔබ මතු දිනෙක බුදු වෙයි..

උතුම් සිව් බඹ විහරණින් හෙබි,
මා කෙරෙහි උතුරන දයාවෙන්,
දරු පෙමින් ලැබ නියත විවරණ,
මතු දිනෙක බුදුමවුන් වෙනුමැයි..

තත්සරණි සමරසිංහ

---------------------------------------------------------



තත්සරණි සමරසිංහ කියන්නේ අවුරුදු හතලිස් පහක් හෝ පනස් පහක් පමණ වයසැති යුවතියක් නොවේනේ. ඒ කියන්නේ හිරිමල් වියේ පසුවන යුවතියක්. කාව්‍ය නිර්මාණ කෙරෙහි උනන්දුවක් දක්වන කිවිඳියක්. ඉතින් ඒ අය නිරන්තරයෙන් ආදරය, විරහව, වගේ ඒ අයට අති සංවේදී අනුභූතීන් සොයා සොයා නිර්මාන කාර්යයේ යෙදීම පුදුමයට කාරණයක් නොවෙයි.
ඉතින් එහෙම පසු බිමක් යටතේ තත්සරණි ගේ " මතු බුදු වෙමැයි " නිර්මාණය මට නම් මහා පුදුමයක්. ඇය ප්‍රේමාන්විත ආදරයකට සංවේදී වනවා වෙනුවට මව් ගුණයට සංවේදී වී ඇත.
මේමුහුණු පොතේම දහස් ගණනක් නිර්මාණ සඳහා පාදක කර ගත් අති සුලභ
" මව් ගුණ "තත්සරණි ද යලි යලිත් යොදා ගැනීම නොකළ යුත්තක් වුවත් ඇගේ හදවතේ තම මව කෙරෙහි ඇති වූ මව් සෙනෙහස ම මේ නිර්මාණයට කිසියම උත්තේජනයක් ලබාදුන්නා විය යුතුය. එය එසේ නම් කෙසේ ඇයට බැන අඩගසන්නද?
මා කලින් සඳහන් කළා සේ මේ නිර්මාණය පුරාවටම රචිකාවගේ හදවතේ පැන නැගුනු මව් ගුණය විසිරී අති ආකාරය ගැන නම් කිසිදු විවාදයක් නැත. නමුත් එයම පමණක් සාර්ථක නිර්මාණයකට කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැත.
නිර්මාණයක් හැඩ කරනා අපූර්වත්වයක් පළමු කොට ඒ නිර්මාණය තුල තිබිය යුතුය. ඊ ලඟට ව්‍යංගය නැතහොත් ඉඟි කාරකයක් තිබිය යුතුමය.ඒ දෙකම මේ නිර්මාණයතුල තිබේදැයි ත්ත්සරනීම සිතා බැලිය යුතුය.
මවක් දරුවන් වෙනුවෙන් සිදු කරන්නාවූ අප්‍රමාන කැප කිරීම් සමුදායක් එකෙන් එක විස්තර කිරීම කිසිදු අපූර්වත්වයක් මතු කරන්නේ නැත. ඒ සමහරවිට රසිකයන් හැමදාමත්, හැම නිර්මානයකමත් මේ දේ රස විඳ ඇති නිසා විය යුතුය.
නිර්මානාත්මක කාව්‍යකරණයෙහි ලා තත්සරනිගේ හැකියාවන් පිළිබඳව මාහට කිසිදු ගැටළුවක් නැත. එත් ඇගේ " මතු බුදුවෙමැයි " නිර්මාණය තුල " අම්මා බුදු වේවා! " යන්නට එහා ගිය භාව ප්‍රකාශයක් ඇතැයි මට නම් නොහැඟේ.
පෞද්ගලිකව මේ නිර්මාණය තුල මා දකින තත්සරනිගේ පසු බෑම, ඇතැම්විට ඊළඟ නිර්මාණය සඳහා යෝධ පිම්මක පදනමක් විය හැකියැයි මට සිතේ.

Monday, June 8, 2015

මම අවසන් ගමන් යනවිට - Nishnai Erandika



මම අවසන්
ගමන යනවිට
හිරුයි සඳුයි
නුඹත් එන්න .....


මිහි කත් මව්
නුඹත් එන්න ......

හැමදාමත්
වෙනස් වුනත්
සයුරු රළත්
නුඹත් එන්න......

වැහි පිණි දිය
නුඹත් එන්න.......

විටෙක චණ්ඩ
ලෙස උන්නත්
සුළඟ අනේ
නුඹත් එන්න......

නුඹ මට දුන්
මගේ කවිය
ආයෙත් නුඹ
රැගෙන යන්න ..........

මතු සසරෙදි
හමු උනොතින්
මගෙ කවි හිත
මටම දෙන්න


----------------------------------------

Sisira Gamage අපේ ජන කවියක් ගත්තත්, පැල් කවියක් ගත්තත් , පාරු කවියක් ගත්තත්, සංදේශ කාව්‍යක් ගත්තත් ඒ හැම එකක්ම එක්තරා රටාවකට ලියවුනක්. බොහෝ විට එළිවැට එලිසම යෙදුනු සිවු පදයක්.
නමුත් නිසඳැස් වල එහෙම නිශ්චිත රටාවක් නැහැ. ඒ වුනත් නිසඳැස් ලියන බොහෝ අයට පොදු වුනු රටාවක් නැහැයි කියල නම් කියන්න බැහැ. ඒ පොදු රටාවෙනුත් පිට පැනල නිදහස් කාව්‍ය කරණයේ යෙදෙන කීප දෙනෙක්ම දැන් දැන් මුහුණු පොතේ මගේ මිතුරු හමුව තුල ඉන්නවා. එයින් මා මතකයට එක වරම නැගෙන්නේ බී. අනුරය. වචන දෙකකින් හෝ තුනකින් සමන්විත වැකි එකක් යට එකක් වශයෙන් පද සන්ගට්ටනයකින් ඒ නිර්මාණ කරනවා. ඒවා කොතෙක් දුරට සාර්ථකද අසාර්ථකද යන්න නම් වෙනම කතා කල යුතු මාතෘකාවක්.
මට මේ ටික සටහන් කරන්නට සිත්වුයේ Nishani Erandika කිවිඳියගේ ' මම අවසන් ගමන යනවිට .....නම්වූ නිර්මාණය කියවීමේදීය.ඇය මෙතෙක් ලිුයු රටාවෙන් පිට පැන කල නිර්මාණයක් වශයෙනි මට හැංගී ගියේ.
නිර්මාණ කරුවෝ ජීවත් වෙන්නේ සොබාදහමත් එක්ක එහෙම නැත්නම් පරිසරයත් එක්ක කියල කිව්වොත් එක වැරදි නැ හැ. එකනේ අපේ සංදේශ කාව්‍ය නිර්මාණ කරුවන් ඒ නිර්මාණ වලට නොයෙක් අවස්ථා හා නොයෙක් ස්ථානයන් වර්ණනා වශයෙන් යොදා ගෙන තියෙන්නේ. නිශා වැනුම්, සන්ද්‍යාවැනුම්, උදැසන වැනුම්, දියකෙළි වැනුම්, උද්‍යාන වැනුම් ආදී වශයෙන් පරිසරයට කොතරම් සැලකිල්ලක් දක්වල තියෙනවාද?
ඉතිං nishani erandika විශ්වාස කරනවා එයාට එයාගේ කවිකම දීල තියෙන්නේ පරිසරය කියල. සොභා දහම කියල. එකයි එය කවද හරි අවසන් ගමන යන කොට ඒ අයටත් අඩ ගසන්නේ.
සොභාදහමේ දායාදයන් වන සයුරු රලටත්, සුළඟටත් විශේෂණ යොදමින් ඒවාට ආමන්ත්‍රණය කරන නිශානි හිරු සඳුටත්, මිහි කතටත් ආමන්ත්‍රණය කිරීමේදී එසේ කිසිත් විශේෂණයක් නොයොදන්නේ ඇයිදැයි මට කුතුහලයක් ඇති කළා.
එහෙම වුනා නම් නිර්මාණය තවත් දික් වුනත් හැඩ වෙන බව මගේ විශ්වාසයයි.
සමස්ත නිර්මාණයේ මට නොගැලපෙන වචන දෙකක් පමණයි තිබුනේ. එකක්
මිහි කත් මව්' අන්තිම අසාර්ථක යෙදුමක්. නිර්මාණ කරුවාට බොහෝ අවස්තාවලදී වචන වල හැඩ තල වෙනස් කිරීමට නිදහස ඇතත් තමනිර්මාණයේ පැවැත්ම එහෙම නැත්නම් රිද්මය රඳවා ගැනීම සඳහාම එසේ කිරීම වැරදියි.(මථු සම්බන්දයි) ' ' මම ලිව්වානම් ලියන්නේ " මව්නි මිහි කත නුඹත් එන්න." මොකද රිද්මය බින්දෙනවාද?
නිශානි සමස්ත නිර්මානයේම සිංහල නොවන එකම පදයයි යොදා ඇත්තේ.ඒ "චණ්ඩ" යන පදයයි. එකත් සිංහලෙන්ම ලිව්වානම් හොඳයි කියලයි මට හිතෙන්නේ.
මේ විදියට වචනයක් , දෙකාක් නැත්නම් තුනක් එක වැකියකට ඇතුලත් කරමින් කල අති සාර්ථක නිර්මාණ නිසඳැස් කාව්‍ය පුරෝගාමීන් අතින් අනන්තවත් බිහි වෙලා තියෙනවා. ඒ අතුරෙන් ප්‍රවීනතම කිවිවර, සාහිත්‍යධර ආරියවංශ රණවීරයන් විසින් 1997 වසරේදී 'තිත්' නමින් කල කාව්‍ය සංග්‍රහයේ එක නිර්මාණයක් මෙහි පල කරමි.
කවිය හා විචාරක
පතයි
නමුත්
ඔබේ
පහස්
ඇතුල්
සිතින්
බියයි
එහෙත්
තැලෙයි කියා
ඔබේ අතින්. අදහස තේරුම් ගන්න අපහසු අයට පසුව පැහැදිලි කර දෙන්නම්.අමනාප නොවන්න. (නිමි)

අකුරකට හැඟුම් ගෙන කවක් ලියනට හදමි - Wasana Dahanayake


අකුරකට හැඟුම් ගෙන කවක් ලියනට හදමි
ඒ කවක රැඳෙන එක් හැඟීමක් අහුලගමි
මගේ හෝ නුඹේ වන කවක් ලියමින් සිටිමි
ඒ සොඳුරු හැඟීමෙක අයිතිකාරිය නොවෙමි


කිසිත් සීමා නොමැති ඉඩ හසරකට වැදෙමි
හිතේ අක්මුල් බසින සෙනෙහෙ ගී වැල් ගොතමි
ඇසින් නොව හිතින් කවි දකිමි එහි දිවිසරමි
මේ මගේ අඩවියයි කිසිත් හිරිහැර නොමැති

ඉඩක් ඇති ඉසඹුවෙක ඇවිත් යා හැක ඉතින
කවක් අහුලා ගොතන බලා සිනහා වෙමින
නොවක් සෙනෙහස පිරුණ මගේ මේ සිත්බිමට
එහෙත් නොනවතින ලෙසට කියමි සදහට එතැන

2015 / 06/ 05


------------------------------------------------------------------


සාමාන්යෙන් එකම කෑමක් හැමදාම,නිරතුරුවම ආහාරයට ගන්න කොට ඒ දෙය එපා වීමක් , නීරස වීමක් වෙන බව කව්රුත් පිලි ගන්නා සත්යක්නේ. එකනේ " අතිරසත් තිත්ත වෙනවා" කියල කියමනක් තියෙන්නේ. නමුත් අපි හැමදාමත් කන්නේ බත් . උදේට දවල්ට, රෑට තුනටම. කවදාවත්ම අපිට එපා වෙනවද? නීරස වෙනවාද? අතිරසත් වගේ තිත්ත වෙනවාද? නැහැ නේද? මොකද ඒ? ඒ රසය අපේ ජාන වලට කා වැදිලා. හැමදාමත් ඉල්ලන්නේ ඒ රසයමයි.
ඒවගේම තමයි අපේ මුහුණු පොතේ කවි කිවින්දියෝ ලියන නිර්මාණ වලට 95%ක්ම පාදක වෙන්නේ ආදරයම තමයි. ඒ අයට ඔය ලිවිල්ල එපා වෙන්නෙත් නැහැ. රස විඳින අපිට එපා වෙන්නෙත් නැහැ. ඒ වගේ නිර්මාණයක් දැක්කම චුටියට හරි Comment එකක් නොදා ඉන්න හිතෙන්නෙත් නැහැ.
මේ ඊයේ පෙරේදා දවසක ශ්‍රියානි මිහිඳුකුලසූරිය කියන අපේ මිතුරියත් ලියල තිබුනා අපූරු ආදර කවක් ,ඒ ආදරය මල් පෙත්තෙයි,තන පත්තෙයි, තටු මත්තෙයි, පිනි රෝත්තෙයි හැම තැනම ලියල ඒ මදිවට ආදර හාදුවක් වලාකුළු අස්සේ හන්ගලත් තිබුනා. මුදු රේඛාත් ආදරය ගැන ලියල තිබුනා වගේ මතකයි තවත් බොහෝ දෙනා...
ඉතින් ඒවගේ වාසනාත් අපූරු ආදර කවක් ලියලා.
අපි නම් සාමාන්යෙන් අපේ හැඟුම් තමයි අකුරු කරන්නේ. එත් බලන්නකෝ වාසනා අකුරකට එයාගේ හැඟුමක් ගන්න ලස්සන. එත් ඒ හැඟුම මොකක්ද කියල වාසනා අපිට කියන්නේ නැහැ.හැබැයි වාසනාගේයි අරයගෙයි දෙන්නගෙම වන කවියක් බව නම් කියනවා.අයිති කාරිය එයා නොවුනත් සොඳුරු සෙනෙහසක් ගැන කියන නිසා එය ආදරයම හැර අන් කවරක්ද?
ඉතින් අකුරකට ගන්න ඒ හැඟුම් සමුදාය හදපත්ලෙන් නැගෙන සෙනෙහස හා මුසුකොට ගී වැල් ගොතන වාසනා ඉසිඹුවක් ( විවේකයක්) ලද විටෙක ඇගේ සිත් බිමට ඇවිත් යන්නැයි ඇරයුම් කලද සදහට එතන නොනවතින ලෙස පවසන්නේ ඇයිදැයි මට නම් ප්‍රහේලිකාවකි.
........ .." නොවක් සෙනෙහස පිරුණු මගේ මේ සිත් බිමට
එහෙත් නොනවතින ලෙසට කියමි සදහට එතන"
ආදරය වුවද විවිධ පැතිකඩ ඔස්සේ විවරණය කිරීම තුලින් රසික හදවත් ආනන්දයට පත්කළ හැකි වනු ඇත. ඒ අර්ථයෙන් ගත් කල වාසනා සාර්ථකය.
වෙනත් කවි කිවිඳියන් , යව්වන යව්වනියන්ගේ සිතැඟි තුලින්, චර්යාවන් තුලින්, සොභාදමේ වස්තුන් තුලින් කෙරෙන ආදර විවරණය මගින් තම කවි ඔප් නැංවීමට තැත් කරන පසුබිමක වාසනා " කවියම" ආදරය විවරණය කිරීමට යොදා ගැනීම කොතරම් නම් සුන්දරද?
විවධ වූ අනුභූතීන් පාදක කොට වෙනස් වෙනස් ආකාරයෙන් නිර්මාණ කලද ඒ සෑම නිර්මාණයක් තුලම නිර්මාණකරුවාගේ ඒකාකාරී අනන්‍යතාව පැහදිලිව දැකිය හැකි වනු ඇත. ඒත් වාසනාගේ මේ නිර්මාණය තුල මම එසේ ඒ අනන්‍යතාව එලෙසින් නොදකිමි. අලුත් සලකුණක් දකිමි. එය මට නම් යහපත් ප්‍රවනතාවයක් ලෙසින් දැකිය හැකිය.
(නිමි) ---සිසිර ගමගේ---

හිරුට කලියෙන් - Wasana Dhanayaka



හිරුට කලියෙන් සුසුඳු කෝපි මල් පිපෙනවා
උදෑසන නුඹෙ හිනා ඇස් පුරා මැවෙනවා
නිදිමතෙන් දෑස් හැර හිනාවක් හොයනවා
පොඩි පුතේ උඹ නැතුව මට ඉතින් ඇඬෙනවා


කිරිරහට මාලුවක් බතක් දැන් ඉදෙනවා
මගේ ලඟ දැවටෙමින් උන්න හැටි දැනෙනවා
එකින් එක කවන්නට කතාවන් ඇහෙනවා
ඒත් නුඹ නෑ තවම අනේ දුක හිතෙනවා

අප්පච්චි සුසුම් ලනු ඉඳහිටත් ඇහෙනවා
නොකීවට උඹේ ගැන මහමෙරක් හිතනවා
නොරට දේසෙක නුඹට කොහොමදැයි අහනවා
කතා අවසන ඉතින් කඳුලකුත් පිහිනවා

සිප්සතර උගන්නට තව කලක් තියනවා
රජෙක් නොව මිනිහෙක්ව ලොව දිනයි දන්නවා
ඒ දවස එනතුරා දුක දරන් ඉන්නවා
නුඹ අපේ ලෝකයයි අපි බලන් ඉන්නවා

2015 / 06 / 07




-------------------------------------------------------------------------

පිරිත් කියන්න පුලුවන්ද ඝෝෂාකාරී සංගීත තාලයකට අනුව. බැහැනේ. ජයමන්ගල ගාථා? එත් බැහැනේ. ඒවාට කව්රුවත් තාල රටා, තනු නිර්මාණය කලාද? ඒත් නැහැනේ. එහෙනම් ඒවා හෑල්ලක් කියවගෙන කියවගෙන යන විදියට කියනවාද? ඒත් නැහැනේ. ඒ වුනාට ජයමංගල ගාථා කියන්නෙත් , පිරිත් සජ්ජායනා කරන්නෙත් කිසියම් රිද්මයකට, තාල රටාවකට අනුව්. මම නම් කියන්නේ ඒ වයේ වචන තුලම ඒ රිද්මය කැටිවෙලා තියෙනවා කියලයි.
ඉස්සර කාලේ දරු නැලවිලි ගීතවලට සුනිල් ශාන්තයන් ලා, අමරදේවයන් ලා හරි වෙන කව්රු හරි තනු, තාල රටා යෙදෙව්වාද? නැහැනේ. එත් අපේ අම්මලා, ආච්චිලා ඒවා කසාය සීට්ටුවක් කියන්නා වගේ කියෙව්වේත් නැහැනේ.
" ඔන්න බබෝබෝ ඇතින්නියා , ගල් අරඹේ සිටින්නියා....බබුට බයේ දුවන්නියා...දොයි දොයි දොයි දොයිය බබා වගේ නැලවිලි ගී කිව්වේ කිසියම් ලතාවකට. ඒ රිද්මය , තාල රටාව ඒ ගොල්ලන්ට කව්රු කියලා දුන්නාද කියන එක තමයි ප්‍රශ්නය. මම මුලින් සඳහන් කළා වගේ ඒ නැලවිලි ගී වල පදමාලාව, තුලම, වචන තුලම ඒ රිද්මය කැටි වෙලා තියෙනවා කියලයි මම කියන්නේ.
මම මේ පූර්විකාව සඳහන් කලේ වාසනා දහනායකගේ " හිරුට කලියෙන් සුසුදු කෝපි මල් ......" කියන නිර්මාණය ගැන සටහනක් ලියන්නයි. ඒ පූර්විකාවත් මේ නිර්මානයත් අතර මොන සම්බන්ධයක්දයි ඇතැමෙකුට හිතෙන්න පුළුවන්.
ඒ සම්බන්ධය වශයෙන් මට නම් කිව හැක්කේ ඉහත සඳහන් කල නිර්මාණයන්ගේ මෙන්ම වාසනාගේ මේ සංවේදී නිර්මාණයට ඔබින රිද්මයක් ,යොදා ඇති එලි සමය තුලින් මතු කරලීමට රචිකාව සමත්වීම කියලයි. ඒ සංවේදී බව තීව්ර කිරීමට ඒ එළිසමය සමත් වෙලා තියෙනවා. එය නිර්මානයට ආලෝකයක්. එළිසමය වුවත් සිවු පද කවි හතරටම එකම රටාවේ එලිසමයක් යෙදීම නිර්මාණය වඩාත් ආලෝකමත් කරනවා. ඒ ආකාරයෙන් නිර්මාණයේ අර්ථ රසයට හානි නොවන ආකාරයට එළිසමය යෙදීම මදක් අසීරු දෙයක් වුවත් වාසනා එය ජය ගෙන තිබෙනවා. කවි හතරේ , අවසාන කවියේ අග පද දෙක දක්වා එළිසමය තුල වුවත් පුනරුත් දෝෂයක් ඇති නොවන ආකාරයට නිර්මාණය හැසිරවීමට වාසනා සමත් වී තියෙනවා.
ඒත් අග පද දෙකෙම " ඒ දවස එන තුරා දුක දරන් ඉන්නවා
නුඹ අපේ ලෝකයයි අපි බලන් ඉන්නවා" කියල එකම වචන දෙකක් එළිසමය සඳහා යොදා තියෙනවා.
වාසනා නිර්මාණය ආරම්භයේදීම
" හිරුට කලියෙන් සුසුදු කෝපිි මල් පිපෙනවා" කියල කියනවා.
හිරුට කලියෙන් පිපෙන ලස්සන සුසුදු මල් කොච්චරක් නම් තියෙනවාද? එහෙව් එකේ වාසනා බුදු පුදටවත් ගන්නේ නැති කෝපිි මලක් ගැන කියන්නේ මොන අරුමයකටද කියලා නොහිතුනා නොවේ.. කොච්චර ලස්සන මල් තිබුනත් අපි හිනාවට උපමා කරන්නේ සුදෝ සුදු කෝපි මල් කියන එක වාසනාට අමතක නොවීම කොතරම් සුන්දරද? " උදාසන නුඹේ සිහින ඇස් පුරා මැවෙනවා"
" ඒ කෝපි මල් හිනාව හොයන අම්මාට එය නොදකින කොට ලැබෙන්නේ එයට හාත් පසින්ම විරුද්ධ වූ ඇඩුමයි. බලන්න වාසනා එයාගේ නිර්මාණය තුල හිනාව සහ ඇඩුම යා කර තිබෙන ආකාරය.
කුඩා කල කතන්දර කියමින් තම පුතුට බත් කැවු ආකාරය මනසින් ආවර්ජනය කරන අම්මා තම පුතු තම අභියස නොමැතිවීම ගැන තැවෙන ආකාරය වාසනා ඉතා සංවේදීව ඉට්දිරිපත් කර තිබෙනවා.
මවගේ පමණක් නොව , පුතු නැති සොවින් තැවෙන පියාගේ සිතිවිලි ද ඒ හා යා කිරීමට වාසනා සමත් වී ඇත. සුසුම්ලන පියා අවසන කඳුළු පිසිනාකාරය මගින් එය ප්‍රකාශ කර ඇත.'" කතා අවසන ඉතින් කඳුලකුත් පිහිනවා "
' පිහිනවා' යන්න කාව්‍ය කරණයේදී නිවැරදි වුවද රසිකයාට වඩා පහසුවෙන් ග්‍රහණය කර ගැනීම සඳහා එය " පිසිනවා " යන්න වුවා නම් වඩා උචිත බව මගේ අදහසයි.
නිර්මාණකරුවකු තම නිර්මාණය තුලින් සමාජයටද කිසියම් පණිවිඩයක් සනිවේදනය කිරීමට සමත් වන්නේ නම් එය වඩා යහපත් වේ. වාසනා මෙම නිර්මාණයෙදී අම්මා මගින් ඒ දෙය කර තිබේ. නොරට දේශයකට ගොස් පවා ඒ අම්මා උගතෙක් කිරීමට දරන තැත අවසානයේ බලාපොරොත්තු වනුයේ රජෙක් හෝ උසස් නිලයකින් හෙබි තැනැත්තෙක් කිරීමට නොවේය." මිනිසෙක් " කිරීමටය.
" රජෙක් නොව මිනිහෙක්ව ලොව දිනයි දන්නවා"
සාර්ථක නිර්මාණයක්. ඔබට ජය. (නිමි) ---සිසිර ගමගේ----

Tuesday, June 2, 2015

අම්මා ඇතින්නකි - Shriyani Mihindukulasooriya

අම්මා ඇතින්නකි....
විස බඳුනකිය නුඹ බිව් රහමෙර සේම
ගුටි බැට දෙමින් අම්මා රිදවපු බෝම
නොසරුප් බස් කියා අවමන් දෙනු කෝම
නුඹ දරුවන් වැදූ අම්මා ඇය වේම.

නුඹෙ පා පහර ඉන්නේ ඇය ඉවසාම
ඇය ගුටි කද්දී රිදුනේ මට හැමදාම
සඟවා කඳුල හොරැහින් ඉකි බින්ඳාම
අම්මා ඇතින්නකි දුක ඉවසනු බෝම
මගෙ බුදු තාත්තේ බොන්නේ ඇයි ඔහොම
අසනා කලට නොසරුප් බස් තෙපලාම
කම් නැහැ තාත්තේ පව් පිරුනත් බෝම
අප දා නොයන්නේ ඇයි දැයි සිතුනාම

----------------------------------------------------------------------------------------
ඉංග්‍රීසි කියමනක් තියෙනවා., මෙන්න මෙහෙම.
your Boss may not right all ways, But he is all ways your Boss......
මේකත් සමගම මම ශ්‍රියාණි මිහින්දුකුලසූරියන්ගේ " අම්මා ඇතින්නකි " කියන අති සන්වේදී නිර්මාණයේ අවසන් කවියට යනවා.

දෙමව්පියන්ට තම දරුවන් සේම දරුවන්ට ද තම දෙමව්පියන් හා සම කල හැකි වෙනත් කිසිදු වස්තුවක් නොමැත්තේය.විශේෂයෙන් කුඩා කල දරුවන්ට ඔවුන්ගේ පරමාදර්ශී චරිත වනුයේ ද තම දෙමාපියන්ය. බොහෝ විට පියාය. ඔහු දරුවාගේ ලෝකයේ වීරයාය.
. යුග පුරුෂයාය.
ඒ වුනත් ශ්‍රියානියන් ඇයගේ නිර්මාණයේ ඒ අවසන් කවියේ මෙහම කියනවා .
මගේ බුදු තාත්තේ බොන්නේ ඇයි ඔහොම
අසනා කලට නොසරුප් බස් තෙපලාම
කම් නැහැ තාත්තේ පව් පිරුණත් බෝම
අප දා නොයන්නේ ඇයිදැයි සිතුනාම."
මා ඉහතින් සඳහන් කල සේ මේ තාත්තා තව දුරටත් ඒ දරුවාගේ යුග පුරුෂයාද?

දරුවාගේ ලෝකයේ වීරයාද? පරමාදර්ශී චරිතයක්ද?
දරුවෙකූට තම පියාගේ නික්ම යාමක් අපේක්ෂා කිරීමට තරම් මනස හැඩගැසීමට කොතරම් නම් පීඩනයක් විය යුතුද? ශ්‍රියානි ඒ පීඩනය අප වෙතද ඇති කිරීමට සමත් වී ඇති නිසයි මා සඳහන් කලේ මෙය අති සංවේදී නිර්මාණයක් ලෙස.
මා ඉහතින් සඳහන් කල ඉංග්‍රීසි වැකියේ මෙන් කොතරම් වැරදි කලත් ඒ තාත්තා හැම විටම තමාගේ තාත්තා යන්න පිලි ගැනීමට මේ දරුවා සුදානම්ද?
මේ සමස්ත නිර්මාණයේ අර්ථය කැටි කර ගතහොත්, එය බීමත් පියෙකුගේ හිංසනයට ලක්වන තම මව ගැන දරුවකුගේ සිතේ ඇතිවන ශෝකාලපයක් පමණක් ලෙසින් දැක්විය හැකිය.
නමුත් මේ නිර්මාණය තුල ඉන් එහාට ගිය දෙයක් ප්‍රකාශය කිරීමට ශ්‍රියානියන් දරා ඇති තැතක් මට ගම්‍ය වනවා.
" සඟවා කඳුල හොරැහින් ඉකි බින්දාම
අම්මා ඇතින්නකි දුක ඉවසූ බෝම "
තම ජීවිතය යට කරගෙන පැමිණෙන අනෙක විද සියලු දුක්ඛ දෝමනස්සයන් හමුවේ තම කඳුළුද සඟවා, බොහෝ විට තම දරුවන් වෙතින් පවා සඟවා එතකින්ද නොනැවතී තම සැමියා හැරපියා නොයෑමේ ආසියාතික බිරියන්ටම පොදු වූ ධර්මතාවය ඉහත කවි දෙපදයෙන් මනාව පිළිබිඹු වෙන බව මාගේ හැගීමයි.
නිර්මාණය රසවත් ලෙස ඉදරිපත් කිරීමට ශ්‍රියානියන් සමත්වීම ගැන විවාදයක් නැත. ඒත් නන්දා මාලිනියන්ගේ බුදු තාත්තේ බොන්න එපා තැනින් පටන් ගත්තත් මෙවැනි අනුභුතියන් රැගත් නිර්මාණයන් කොතෙක් නම් බිහි වී ඇත්ද?එවැනි නිර්මාණයන් යලි යලි රසිකයන් වෙත ඉදිරිපත් කිරීම යනු නිර්මාණකරුවන්ට නව අනුභූතීන් සොයා යාමේ නොහැකියාව පෙන්නුම් කිරීමක් කියලයි මා නම් හිතන්නේ. මගේ මත්කය නිවැරදි නම් ශ්‍රියානියන් මෙයට පෙර ද මෙවන් නිර්මාණයක් කර ඇති බව සඳහන් කල යුතුය. --- නිමි----- 

කුල ගෙට පායන නව සඳ - සුල තත්සරි



මල්කමින් වැඩ දැමූ සියුමැලි
සළුව ගත දවටා සරසලා
සිඟිති දුවණිය මනාලිය වී
කුලගෙදර එලි කරන දවසේ
සිතේ පිරි දුක කඳුළු කැට වී
වැටෙන හැටි දුටුවා


කුල කුමරු දුන් මාල තැලි පිලි
මා සරසනා අයුරු දුටුවම
එදා ඔබ මා හට තිලිණ කල
කිරි පබළු පොට ගෙල සැරසුයුරු
තරු අරුංගල් මුව බැබළුයුරු
සිහි වීද නෙතු කඳුළු සැලුවේ
එක පසෙක සඳු එක පසෙක හිරු
පදක්කම් මා හිස ගවසලා
සිඟිති මා ලොව එලි පෙහෙළි කල
මවුන් සඳු නම් ඔබයි හිරු රජු

රුව ගුණෙන් නැණ බෙලෙන් දිරි ගෙන
නව ලොවට හෙට දිනෙක සඳු වෙමි
තත්සරණි සමරසිංහ




-----------------------------------------------------------------------------




මේ මුහුණු පොතේ මෙවන් ප්‍රස්තුතයන් කාව්‍ය නිර්මාණ බවට පත් වූ අවස්තාවන් කොතෙකුත් තිබුනා. එක එහෙමනම් මේකත් සුලභ අනුභූතියක් වශයෙන් සලකා LIKE එකක් විතරක් දාල ඕනනම් Waaw කියලත් කියන්න තිබුනා. නමුත් සුලා මේ නිර්මාණය හන්ගීම් දනවන ආකාරයෙන් පබැඳු නිසා කෙටි සටහනක් යොදන්න හිතුනා. නිර්මාණය රස විඳින හැමෝටම මෙය තමන්ගේ කර ගැනීමේ අවකාශය ඒ පබැඳුම තුල තියෙනවා. එකයි මා දකින අපූර්වත්වය.
මෙවන් බොහෝ නිර්මානවලදී පීතෘ මුලික බවක් දක්නට ලැබීම සුලභ කරුණක්. එනිසාමදෝ සු ලා ත් මෙහිදී තම අතීතාවර්ජනය සඳහා පාදක කරගනු ලබන්නේ තම ආදරණීය පියාණන්ය. මව නොවේය. ඒත් පියාණන් බව කියන්නට "පියාණන්" යනුවෙන් එකදු වදනක් හෝ සු ලා තම නිර්මාණය තුල යොදා ඇත්ද? නැත්තේමය.
නිර්මානයක සාර්ථකත්වයට, අලංකරණයට හේතු පාදක වන ව්‍යංගය නැතහොත් ඉන්ගිකාරකය මගින් සු ලා අපට ඒ බව පසක් කර දී ඇත. " මවුන් සඳු නම් ඔබයි හිරු රජ" ......සු ලා ඒ ආකාරටය රසිකයාට මේ පියා හා සම්බන්ධව කරනු ලබන ආවර්ජනයක් ලෙසින් දක්වා සිටින්නේ. එත් නිකන්ම නිකන් අහසේ පායන හිරු සඳු පෙන්වා නොවේමය. තමා ව සරසා ලු මංගලාභරණ තුලිනි. හිස දෙපස සරසාලු හිරු සඳු පදක්කම් තුලිනි.
" එක පසෙක සඳු එක පසෙක හිරු -පදක්කම් හිස ගවසලා ".............
අන් නිර්මානවලදී මෙන් " වැන්ඳ දෙපා යලි අදත් වඳින්නම් මංගල ගමනට යන්න අවසරයි පියාණනි" කියා සු ලා කියන්නේ නැත." දුවේ නුඹ මගේ ප්‍රානයයි" කියා පියා ලවා කියවීමටද ඇය උත්සුක වන්නේ නැත. ඒ වෙනුවට පියා හා අතීතාවර්ජනයකට යනවා.
පෝරු මස්තකයෙදී තැලි පිලි පළඳවන අවස්තාවේදී සු ලා එය කදිමට සිය පූර්ව විවාහ කාලය හා සසන්දනවා." එදා ඔබ මාහට තිළිණ කල කිරි පබළු.......
මා ඉහත සඳහන් කල පරිදි මෙවන් බොහෝ සුලභ නිර්මාණයන්හි යුවතියගේ ප්‍රාර්තනාවන්ද අති සුලභ ඒවාය. යහපත් පතිනියක් වීම, ගුණවත් බිරිඳක් වීම, මවක් වීම ආදී යෙදුම්ය.
සු ලා මෙහිදී සාර්තක අයුරින් ව්‍යන්ගාත්මකව තම ප්‍රාර්ථනාවන් ඉදිරිපත් කර ඇත.ඇයගේ පූර්ව විවාහ දිවියේ හිරු සඳු ඇගේ මව් හා පියාය.විවාහ දිවිය ඇයට තවත් අලුත් ලොවකි. ඒ ලොවටද හිරු සඳු දෙදෙනෙකි.
" නව ලොවට හෙට දිනෙක සඳු වෙමි " සු ලා මේ නොකියා කියන්නේ ඇය හෙට දිනයේ පතිනියක් බව නොවේද? මවක් බව නොවේද? ඇගේ අතිනත් ගත සුහදයානන් ඒ ලොව හිරු බව නොවේද?
අපූරුයි සු ලා. ඔබ සාර්ථකයි. අති සුලභ , නිර්මාණකරුවන් පට්ට පතුරු ගැසූ ඉවත ලු හැකි අනුභූතියක් සාර්ථක නිර්මාණයක් බවට පත් කිරීම ගැන සතුටුයි.
අති සාර්ථක ගීත සඳහා Visuals යොදා ගැනීම නිසා එම ගීතවල රසවත් භාවය කෙලෙසී ගිය අවස්ථා අපි කොතෙකුත් අත්දැක ඇත්තෙමු. ඒ කිසිදු ගැලපීමක්, සමපාත බවක්, අර්ථවත් බවක් නොසලකා ඒවා නිර්මාණය කිරීම නිසාය.
සු ලා ඇතුළු අපේ කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙන්නන්ද ඒ ආකාරයට තම නිර්මාණ වලට චායා රූප සම්බන්ධ කර ගැනීමේ දී අනා ගන්න බව නම් කිව යුතුමය.
මේ රසවත් නිර්මානයේදී සු ලා ද අනාගෙන ඇත. අනාගනීමේ හොඳම එක කිව්වොත් තමයි වඩා නිවැරදි.
මන්ගලාභරණ වශයෙන් ඉර-සඳ පදක්කම් පලන්දනුයේ උඩරට මනාලියන් (Kandyan )ලෙසින් සැරසෙන අයට මිස බටහිර පන්නයේ මනාලියන්ට නොවන බව හෙට අනිද්දා මනාලියක් වීමට සිතා සිටින සු ලා තේරුම් නොගැනීම මට නම් අරුමයක්ම තමයි. ( නිමි)