Wednesday, July 8, 2015




-------------------------------------


එක දිගට නිර්මාණ කීපයක්ම විරහවටයි , පරිසර වර්නනාවටයි, වෙන් කෙරුව විජායිනි මේ පාර නම් අමුතු අනුභූතියක් එයාගේ නිර්මාණයට පාදක කර ගෙන තියෙනවා.
අද පුන් පෝය දිනක් නිසා ඒක වඩාත් මගේ අවධානයට යොමු වුන නිසයි ඒ ගැන සටහනකට මා යොමුවූයේ.
කව්රු හරි කිසියම් කාව්‍ය නිර්මාණයක් පෙන්වා එකෙන් කියවෙන්නේ කුමක්ද කියල ප්‍රශ්න කලොත් එක එල්ලේ උත්තර දෙන්න පුළුවන් මේක අහවල් වස්තු බීජය මුල් කරගෙනයි මේ නිර්මාණය නිමවී තියෙන්නේ කියල. බොහෝ විට එක කරුණක් පමණයි.
නමුත් විජායිනි එයාගේ මේ නිර්මාණය තුලින් මූලික කරුණු දෙක තුනක්ම රසික සිත් වලට කාවද්දන්න උත්සහ කරලා තියෙනවා. මම කියන්නේ නැහැ ඒ උත්සාහයන් අසාර්ථකයි කියලා.
අද පන්සල් බොහොමයක් නවීන තාෂණික මෙවලම් විසින් නිහඬ නිසල පරිසරය අකා මකා දා තියෙනවා. ශාන්ත බව නැති කර තියෙනවා. නිවී සැනසිල්ලේ. සිත එකලස් කරගෙන ගාතාවක් නොවර්දී, නොපැටලී කීමට පවා හැකියාවක් නැතිවී තියෙනවා. විජායිනි එක ඉතා සියුම් ලෙස කියා පානවා.
"විරුදු ගී..නෙක පාට බුබුළු වැල් නිවාගෙන....."
විජායිනි තම නිර්මානයේදී ඊ ලඟට ජන ජීවිතයේ කාර්ය බහුලත්වයද නොකියා කියනවා. ඒ කාර්ය බහුලත්වය නිසා සිතේ චංචල භාවයද රසික අපට විදාරණය කරනවා.
" මසක් තිස්සේ එහෙ මෙහෙ දුවපු නිවනක් නැති සිතට.....'ඔය කවිය මම ලිව්වානම් නිවනක් නැති සිතට කියන තැනට මම නම් දාන්නේ " කැළඹුණු සිතට" එහෙම නැත්නම්' අවිවේකි සිතට" එහෙමත් නැත්නම්" වෙහෙසුණු සිතට" වගේ වචනයක්. එතකොට වඩාත් ගැලපෙන්නේ මගේ යෙදුම්ද? එහෙම නැත්නම් විජායිනිගේ ' නිවනක් නැති සිතට " කියන යෙදුමද?
බලන්නකෝ විජායිනිගේ ප්‍රතිභාව. පෝය, පන්සල, බෝ මළුව ,බෝ පත, මල'සුන වගේ වචනත් එක්ක 'නිවන' කියන වචනය කොච්චර ලස්සනට යා වෙනවාද කියල.
මම මුලින් සඳහන් කලා වගේ ඔයා කරුණු වලට අමතරව සමස්ත නිර්මාණයෙන් විජායිනි අවධාරණය කරන මූලික කරුණ ගැන කිව්වොත්...
" අනිත්‍ය ' හැර වෙන මොකක්ද?
ඒකත් විජිනි කියන්නේ භාවනාවට යන අයෙකුට කමටහන් දෙනවා වගේ. ඒවගේ දේවල් අරමුණු කරගෙන් සැනෙකින් ධර්මාවබෝධ කරගත් අය ගැන අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන බවත් මගේ මතකයට නැගුනා.
" දැල්වී නිවී යන අර පහන්සිල දිහා බලාගෙන "
" දිරා ගිය බෝ පතක......'
" පිදු මල් මල'සුනේ පරවයනයුරු "... ඔන්න බලන්න
විජායිනි අපිට දෙන කමටහන්.
කොච්චර නම් ලස්සනද?
විරහවෙන් අපව හඬවනවාට වඩා, පරිසර වර්ණනාවෙන් අපව මන්මත් කරනවාට වඩා, ප්රෙමාදර්යෙන් අපව ප්‍රේමාන්විත කරනවාට වඩා කොච්චර නම් අර්තවත්ද?
ඉතින් මේ නිර්මානයත් විජායිනිගේ සාර්ථක නිර්මාණ ගොඩට එකතු කරන්න කැමතියි.( විජායිනිගේ අසාර්තක නිර්මාණ ගොඩකුත් තියෙන බව නම් මම දන්නේ නැහැ)
සම්ස්ස්ත නිර්මාණය ගැන මම එහෙම කිව්වත් පුංචි නොගැලපෙන තැනක් දෙකක් ගැනත් නොකියා හිටියොත් එක මගේ හිතට හරිමදී හින්දා ඒගැනත් කියන්නම්.
' ඉඩ දෙන්න මොහොතකට " මසක් තිස්සේ" කියන යෙදුමට වඩා ලස්සන යෙදුමක් දාන්න තිබුනා කියලයි මට හිතෙන්නේ.
"මසක් පුරාවට" , "දින තිහක්ම ", " තිස් දිනක්ම" , "පෝය හතරක්", ' සිවු පෝයක්ම"වගේ යෙදුමක් නිකමට දාල බලන්න ගැලපෙන්නේ නැත්ද කියල. එහෙම නොගල්පෙනවානම් ඔය යෙදුම හොඳයි.
ලස්සන වදන් මාලාවක් ගොතාගෙන ගොතාගෙන ඇවිල්ලා කලබලෙටද දන්නේ නැහැ ( මට හිතෙන විදියට)නොගැලපෙන වචනයක් අමුණලා තියෙනවා.
" සිතේ කැත කුණු සෙමින් පිස දමන..." කැත කුණු ' කියන යෙදුමට වඩා හොඳ නැත්ද "මද මාන", " කෙලෙස් මල" වගේ හෝ ඒ ආශ්‍රයෙන් යන යෙදුමක්.
එහෙම වුනානම් මේ නිර්මාණයේ අගය කියන්න බැහැ. ( නිමි)

Wednesday, June 10, 2015

කවි ලියන මහතුනේ ---- Shriyani Mihindukulasooriya


කවි ලියන මහතුනේ


ආවාට ලප පිරුනු
මා සම නොකරන්න
පැල්ලම් මකා ගත්
සඳලතාගේ වතට.
දැළි කුණු සායමින්
ලප කැළල් වසා ගත්

සබාවේ කුණු අදින
පාර්වතියගෙ වතට
සම කරන් මගේ වත
මහතුනේ කවි ලියන.


අහසින් ගලා'විත්
පෙම්වතිය සිප ගන්න
පෙම්වතුන් මුමුනනා
පෙම් බස් අහගන්න

පෙමින් වෙලි සයනයක
උං සමග සැනහෙන්න
කවි ලියන මහතුනේ
එපා යළි පවසන්න.

රෑ මුරය අහවරව
මුවැත්තියො පා නගන
විඩාපත් උං දෙපා
සඳ දියෙන් දොව දොවා
සිහිල් සිහිලක් දෙන්න

සලෙලුන් ඉගි මරන
මගට එළියක් වෙන්න
කවි ලියන මහතුනේ
මා හට ඉඩ දෙන්න.


----------------------------------------------------

හුඟාක් ඈත අතීතයට යන්නේ නැතිව අපි සංදේශ කාව්‍ය ලියවුනු කාලය වෙත අවධානය යොමු කරමු. එතැන් පටන් මේ දක්වා ' සඳ " නමැති සුන්දර වස්තුවට උපමා වුයේ එවන් සුන්දරම වූ උපමෙයන්ම්ය. සංදේශ කාව්‍ය නිර්මාණ කරුවනුත් එහෙමමය. අරන් බලන්නකෝ හංස, ගිරා, ලිහිණි, කොවුල් , සැවුල් සංදේශ කාව්‍ය පොතක්. පෙරලන්නකෝ සැන්දෑ වර්ණනාවකට . කියවන්නකො අපේ සංදේශ කාව්‍ය කරුවෝ සඳට උපමා කරලා තියෙන ඒවා මොනවද කියලා. කතා දෙකක් නැහැ . කාව්යෝක්තිය අතින් කොතරම් උසස් වුනත් සුන්දර දේවල්ම තමයි උපමෙයන් වෙලා තියෙන්නේ. බොහෝ විට ස්ත්‍රී වර්ණනාවන් සහ ශ්රුන්ගාරය උද්දීපනය කරන්න සඳ යොදාගෙන තියෙන බව ඒවායින් හොඳටම පේනවා. කව් සිළුමිණේ මේ කවියත් කියන්නකෝ.

" වැද සෙමෙර සේ දිගත දිගඹුවනට සිඳුවර

මිහිකතට අඟරා හෙළ වැජඹී සුපුන් සිසිමෙරජ"

ඒ කවියේ අදහස මෙන්න මෙහෙමයි.

සම්පූර්ණ සඳේ රැස් සමුහය ලෝකය ඉසිලු ඇතුන්ට සෙමර වල්ගා ලෙසද , දිශා නමැති කතුන්ට සිඳුවර කුසුම් ලෙසද, මිහි කතට සුදු සඳුන් ආලේපයක් ලෙසද බැබලීය.

ඒ කවියන්ගෙන් පාරම්පරිකව පැවතෙන ජානගත හුරුව නිසාදෝ අපේ මෑත කාලීන කාව්‍ය නිර්මාණ කරුවන්, ගේය පද රචකයන් සහ මුහුණු පොතේ අපේ සහුර්ද ආධුනික කවි කිවිඳියන් ද ඒ සුන්දර වස්තුන් සඳහාම "සඳ" හොඳ මෙවලමක් කරගෙන තියෙනවා. මම කියන්නේ බොරුද කියල බලන්නකෝ අපේ කීර්ති පැස්කුවල් ගායකයා මොනවාද කියන්නේ කියලා.

" සඳලතා පායලා - මල් වැට ගාව ඉරිමා උදේ

ඇගේ පරිවාර තරු වැල් වගේ

සඳුට උපමා ඔබයි ළඳුනේ - මටයි හැඟුනේ ආදරේ.....

එහෙම උපමා කිරීමෙන් බැහැර වුනු ගෙය පද රචකයෝ බලන්නකෝ සඳ ගැන කියන කතා. අපේ අමරදේවයන් තමයි මෙහෙම කියන්නේ..

" සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා

වලා රොදක සැඟවිලා

අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා..........." සඳ කැත වැඩකටත් සම්බන්ධ කරලා. ඔයාල අපිවත් අනුන්ගේ ආදර කතා එහෙම අහනවාද? හරි අපි එක එහෙමයි කියමුකෝ.

අපේ ප්‍රවීණ සංගීතවේදී දර්ශන වික්‍රමසිංහ යන් හා ප්‍රවීණ ගායිකා ශෂිකා නිසන්සලාවන් හා එක්ව අපේ මුහුණු පොතේම කිවිඳියක් (මේ දිව අග නම තියෙනවා, නමුත් මතකයට එන්නේ නැහැ) එයාගේ ගෙය පදයක මෙහම කියනවා.

" තවත් සඳකට තනි රකී නුඹ - එ සඳ ළඟ තරුවක් වෙලා..."

ශ්රුන්ගාරයට පමණක් නොවෙයි විරහවට පවා සඳ යොදා ගන්න අපේ කවී කිවින්දියෝ පසුබට වෙන්නේ නැහැ.
මෙවන් පසුබිමක තමයි ශ්‍රියාණි මිහින්දුකුල්සූරියන් " කවි ලියන මහතුනේ" නමින් අපූරු නිර්මාණයක් රසික අපිට තිලින කරන්නේ.
සඳ කියනවා මෙතෙක් කළා වගේ පියරු බබාලට එයාව උපමා කරන්න එපා කියලා. ඊට වඩා උසස් දෙයක් වශයෙන් සඳ කියන්නේ ඇයව (මහනුවර) නගර සභාවේ පවිත්‍රතා කම්කරු පාර්වතී ට සම කරන ලෙසය.
එතනින් නොනවතින ශ්‍රියානියන් (සඳ) කියන්නේ සීනි බෝල , තොරොම්බල් ආදර වන්තයන් සඳහා වුවද තමාව උපමා නොකරන ලෙසය. මෙතෙක් අපේ කවියෝ කලෙත් කරන්නෙත් එයම බව සඳ හොඳින් දන්නා බව එමගින් අපට කියාපායි.

එහම කවි ලියන මහතුනට අනියමින් තහන්චියක් පනවන සඳ කියන්නේ කුමක්ද/

මගේ සඳ රැස් මින් පසු රෑ වැඩ මුරය නිමාකර පා නගන අහිංසක යුවතියන්ගේ පා දොවන සඳ දිය ලෙසිනුත්, අඳුරේ ඒ යුවතියන්ට ඉඟි බිඟි පානා සලේලුවන්ට ඒ සඳහා තම ආලෝකය අවහිරයක් වන ලෙසිනුත් කවි ලියන ලෙසය.

මාගේ මතකය අනුව මෙවන් ප්‍රස්තුතයක් මෑතකදී කිසිවකු විසින් හෝ තම නිර්මාණයන් සඳහා උපයෝගී කර ගෙන නොමැත. ඒ නිසා ශ්‍රියානියන් තම සහෝදර කවීන්ට "සඳ" උපමා කිරීමේදී කලයුතු දේ මෙයයි කිසියම් ඉඟියක් දී ඇත. නැවතත් මම කියමි. සහෝදර කවීන්ටම පමණි, කිවින්දියන්ට නොවේ.

ඇයි, ශ්‍රියානියන් කියන්නේ " ක වි ලි ය න ම හ තු නේ " කියලනේ .

ඒ කියන්නේ කිවින්දියන්ට නොවේ. කවි ලියන නෝනා වරුන්ට නොවේ.

එකනේ කවි ලියන මහතුන්ට එහෙම කියන මේ කවි ලියන නෝනා එයාගේ ගෙය පදයක මෙහෙම ලියන්නේ.

" තවත් සඳකට තනි රකී සඳ
එ සඳ ළඟ තරුවක් වෙලා............

(නිමි). ---සිසිර ගමගේ-----









Tuesday, June 9, 2015

ඕ තාමත් ගලා බසින්නීය - Nayana Wanninayaka


ඕ තාමත් ගලා බසින්නීය....


වළා අතුල මුදු යහනක ඉපදී
නිල් කඳු ඔවිල්ලක නැළවී
මල් තුරු වදුලේ දඟ පාමින්
ගලා බැසගියා දඟකාරී ඇය..


සරණ ගිය දා කළු ගල්කුළකට
හසුවී මිරිකී රළු දැඩි සිරුරට
තල්ලු කළත් ඈ ඇල්ලෙන් පහලට
විලාප දෙද්දීත් පෙන පිඩු සළමින්
යැද්දා ඈ සුන්වුනු ජීවිතයම යළි
ගල්කුළ දෙපතුළ හඬා වැලපෙමින්


ආයාචනයෙන් පලක් නොමැති කළ
ගලා ගියා ඕ හිස හැරුණු අත
රුසුරු වන සතුන් අඳුරු කැළෑ මැද
තවත් එවන් වූ අතවර විඳිමින්


අවසානේ ඇය සේන්දු වූයේ
මහ මුහුද නම් මහළු මඩමටය.
පිහිටට ආවේ නා නා පෙදෙසින්
එලෙසම දුක් විඳ පණ බේරා ගත්
තවත් එවන් වූ ගංගාවෝමය


---------------------------------------

නිර්මාණකරුවෙකුගේ අනන්‍යතාව අපට හඳුනාගත හැක්කේ, ඔහු හෝ ඇය විසින් නිර්මානයක මතු කරන්නාවූ අපුර්වත්වය තුළිනුයි. අපුර්වත්වය යනු නිර්මානයක තිබිය යුතු සුවිශේෂ ගුණාංගයකි. නයනගේ නිර්මාණයන් තුල තිබෙන්නා වූ ඒ අපුර්වත්වය නිසාම මට ඔහුගේ අනන්‍යතාව පහසුවෙන් හඳුනාගත හැකිය. දැනට වසර ගණනාවකට ප්‍රථම ඔහු ලිවූ ඇතැම් නිර්මාණ පුවත් පත් තුලින් හා මුහුණු පොතෙන් කියවූ අවස්තාවන් වලදී පවා ඒ අනන්‍යතා ලක්ෂණයන් එලෙසින්ම දිස්විය.

මුහුණු පොතේ සෑම නිර්මාණකරුවෙකම හැමදාමත් ආධුනික නිර්මාණකරුවන් වශයෙන් හැඳින්වීම යුතු නොවේ. එය නයන සම්බන්ධයෙන් නම් ඉතාම තදින් බල පාන බව කිව යුතුය. ආධුනික බවෙන් ප්‍රවීණත්වයට පත්වන සීමා ඉර හෝ නිර්නායකයන් කිසිවක් මා නම් දන්නේම නැත. ඒ වුනත් මා නම් නයන ආධුනික කවියෙක් වශයෙන් හදුන්වා නැත. මම මේ පූර්විකාවෙන් ප්‍රවේශ වන්නේ නයනගේ "ඕ තවමත් ගලා බසින්නීය" ගැන කෙටි සටහනක් ලිවීමටය.

පහසුවෙන් කෙනෙකුට ස්පර්ශ නොවන ඉසව් සිය නිර්මාණ සඳහා සොයා යාමේ හැකියාව ප්‍රබල අන්දමින් ප්‍රකටකරන නිර්මාණ කාරිය@Mudu Rekha බව කිව යුතුමය.( මාගේ මිතුරු හමුව තුල) නයනද එවැන්නෙකි. ඒකාකාරී අනුභූතීන් ගෙන් කොතරම් අලංකාර නිර්මාණයක් කලද එහි නවතාවක් දැකිය නොහැකියය. නමුත්' " ඕ තවමත් ගලා බසින්නීය" නයනව ඔසවා තබන නිර්මානයක් ලෙසින් හැඳින්වීමට මම මැලි නොවෙමි.

බැලු බැල්මට ඇලක්, දොළක්, ගඟක්, සයුරක්, දිය ඇල්ලක් යනු නිර්මාණ කරුවන් විසින් පට්ට පතුරු ගසනු ලැබුවාවූ ඒකාකාරී අනුභුතීන්ය. එත් නයන එය තම නිර්මාණය තුල හසුරුවා ඇති ආකාරය ට එය නවතාවකින් යුතුව අපට රස විඳිය හැකිය. ආදරයට ප්‍රේමයට වඩා මනරම්ය.නයන අපේ පැරණි කවීන් මෙන් හෝ බොහෝ නුතන ගේයපද රචකයන් මෙන් දිය ඇල්ලේ ලාලිත්‍ය ගැන වර්නන කිරීමට සුදානම් නැත. බොහෝ නිර්මාණ කරුවන්ට ස්පර්ශ නොවන්නාවූ එහි කර්කශක බවම හුවා දැක්වීමට ගත උත්සාහය සාර්ථක වී ඇත.

මහගම සේකරයන් වුව කියන්නේ ගංගා සමනොළ සිරසින් පැන නැංගා කියල. බලන්නකෝ, අපේ නයන ඊටත් එහා ගිහිල්ලා තියෙන අපූරුව. මම මෑතක දැකපු අපුරුතම යෙදුම.

" වලා අතුල මුදු යහනක ඉපදී

නිල කඳු ඔවිල්ලක නැළවී "

එතකොට අර ඔමරි පපා ගලා හැලෙන දිය ඇල්ලේ උපත මුදු නීල වලා පෙළක. ඒකත් යහනකට උපමා කර ඊට පස්සේ නැලවෙන්න තොටිල්ලකුත් හදල දීල." නීල කඳු ඔවිල්ලක නැළවී" අපූරුයි නයන.මතු සම්බන්ධයි)

නිසඳැසක වුනත් තියෙන්න ඕන රිද්මය මේ නිර්මාණයේ මුල් කවි තුනේම මැනවින් ගලාගෙන යනවා. නමුත් නයන කියන්න කනගාටුයි. තුන් වැනි කවියෙන් පස්සේ මේ අපූරු නිර්මාණකරුවා බාලාංශ පන්තියේ ඉන්දගෙන තියෙනවා වගෙයි. අවසාන කවිය පටන් ගන්නේ රචනාවක් ලියන්න පටන් ගන්නවා වාගෙය. නැත්නම් News කියන්න වාගෙය. රිද්මය පැත්ත පළාතක නැත. වාර්තාමය ස්වරූපය කියන එකේ හොඳම එක. නමුත් එකේ අර්ථ රසයට නම් මා ඉතා කැමතිය.නිර්මාණය නිමා කලයුතුය කියන කලබල මානසිකත්වයෙන් අවසාන කවිය පබන්දුවා කියල කියනවා හැර වෙන නම් කියන්න දෙයක් නැත.

එක එහම වුනාට මා මුලින් කී අපූර්වත්වය නිසාම මම මේ නිර්මාණය අගය කරමි. ඔබ වැන්නන්ගේ නිර්මාණයන්හි සුළු වැරදි අඩුපාඩු වුව අපට රුස්සන්නේ නැත. ඇලපිල්ලක් පාපිල්ලක් පවා.

(නිමි)





ශාමිලා........ තරංගනී



ඉපිද මියයන වැවේ රළ මත හිනාවෙන පෙණ හැංගිලා
අපව දැකලද ගලාගෙන විත් දෙපා සිඹිනව දැවටිලා
දිලෙන රන්කොත් වෙහෙර මුදුනින් රාමසන් හඳ පායලා
මගේ සුරතේ වෙලී දැවටී ඇවිද යමු අපි ශාමිලා

උතුම් බුදු හිමි කියාදුන් බණ හිඳී හදමත පේවෙලා
ඉතින් සෙනෙහස තරම් දහමක් කොහෙ තියෙන්නද බිහිවෙලා
මගේ ගෙලවට වැදී යන නුඹෙ සුසුම් සුවඳක හැංගිලා
මගේ ආගම නුඹේ ජතිය ලියා තිබුනද ශාමිලා

අපේ ආදර කතාවක රස නිවී යන නෙතඟින් බලා
තිලෝගුරු හිමි අහන් හිටියා පිළිමගෙයි තැන්පත් වෙලා
පල්ලියේ ගල් බැම්ම පාමුල පළස හොඳටම තෙත් වෙලා
දෙනෝ දහසක් දෙපා පිස්සේ නුඹේ කඳුළින් ශාමිලා

නුඹේ නළලත වැහුනු සළුවෙන් පොටක් සුළගට පාවෙලා
ඇඳී අවුදින් මගේ සවනට සින්දු කියනව ලන්වෙලා
මහා දම්සක් සුතුර වාගෙම අහන්නම් මම පේවෙලා
කුරාණය ...ගැන මටත් හෙමිහිට කියල දෙනවද ශාමිලා

අපේ ආදර කලාලය මත සිරිත් කුලගොත් වැතිරිලා
එකම එක හිස් ඉඩක් තිබුනොත් අපිත් හිඳගමු සැනසිලා
දෑතකට ඇදි ඇදී විඳවන අපේ හදවත් අකුලලා
පංසලේ බුදුමැදුර ඇතුලේ හංගමුද අපි ශාමිලා..

..තරංගනී... —


----------------------------------------------------------------------


මගේ මතකය නිවැරදි නම් තරංගනී දිල්රුක්ෂි ජයසෙන නම් දියණිය මේ නිර්මාණය කලේ මෙයට වසරකට ඉහතදී විය යුතුය.මේ නිර්මාණයට පිළිතුරු කවියක් කල ශාමිලා හුසේන් දියණිය මා හැඳින ගතේද මේ නිර්මාණය තුලින්. .ඉන්පසු ඒ සමගම ශ්‍රියානි මිහින්දුකුලසූරියන් ඇතුළු බොහෝ දෙනෙකු හැඳින ගැනීමට පාදක වූ නිර්මාණයක් නිසා මම එයට බෙහෙවින් ප්‍රිය කරමි.
දැනට සති කීපයකට පෙර වත්තල Kandy වෙළඳ ආයතනයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම මේ නිර්මාණය යලි මතු වීමට හේතු වුවා විය හැකිය. මෙම සිදුවීම හා නිර්මාණයේ කියවෙන ආගම් අතර සමපාත බවක් නොවුවද ප්‍රස්තුතය එකම නේද යන්න මට සිතේ.
මුස්ලිම් තරුනියකගේත් සිංහල තරුනයකුගේත් ප්‍රේමයක් පාදක කරගෙන නිර්මිත මේ පැදි පෙළ ඉස්ලාම් සහ බුදු දහම යන ආගම් දෙකේ පිළිබිඹු වන සරල සංකේතයන් වලින් අලංකාර වී ඇත.
දිලෙන රන්කොත් වෙහෙරේ කොත මගින් බුදු දහම සංකේතවත් කරන තරංගනී අහසේ පායන රාමසාන් සඳ මගින් ඉස්ලාම් අආගම සංකේතවත් කරනවා.එතනින් නොනවතින ඇය බුදු ගෙයි තැන්පත් කර ඇති පිලිම වහන්සේ සහ පල්ලියේ ගල් බැම්ම පාමුල ඇති පලස ඒ ආගම දෙක සංකේතවත් කරන්න උපයෝගී කර ගැනීමද ප්‍රසංසනීයයි.එයින්ද නොනවතින රචිකාව ආගම් ද්විත්වයේ ධර්ම ග්‍රන්ථ ද , එනම් දම්සක් සුතුර සහ කුරානය තම නිර්මාණය සඳහා යොදා ගන්නවා. ඉස්ලාම් ආගමට කුරානය නම් බුදු දහමට ත්‍රිපිටකය විය යුතු නිසා එය මෙම නිර්මාණයට යොදා නොගත්තේ ඇයිදැයි සමහර රසිකයෙකුට කුකුසක් ඇතිවීම අසාධාරණ නොවේ.
මා හිතන්නේ තරන්ගනී මුස්ලිම් දැරියගේ අනන්‍යතාව මේයයි සිය නිර්මාණය තුලින් කියාපෑම කල යුතුයැයි සිතු නිසා මෙහම යෙදුමක් යොදාගන්නවා.
" නුඹේ නළලත වැහුණු සලුවෙන්පොටක් සුළඟට පාවෙලා
ඇදී අවුදින් මගේ සවනට සින්ඳු කියනවා ලංවෙලා.....
ඒ අනන්‍යතාව කියාපානවත් සමගම එයට උපයෝගී කරගත් සිනිදු සලුපොට ඔහුගේ සවනට ගීතයක් මුමුණන සෙයක් ද රචිකාව පවසනවා. ඇය ඒ අවස්ථාවේ කුරානය හා සමපාත විය යුතුයි සිතා " ත්‍රිපිටකය " යන්න යෙදුවා නම් නිර්මාණය ලස්සන වන්නේ නැත. ඒ සවනට මුමුණන ගීතය ඇතැම් විට ඉස්ලාම් ගීයක් විය හැකිය. එත් තරුණයාට එයද මනහර හඬින් සජ්ජායනාවෙන දම්සක් සුතුර ලෙසින් ශ්‍රවනය කිරීමට තරංගනී ඉඩ හසර ලබා දීම අත්තෙන්ම් ඇයගේ කාව්‍ය නිර්මාණය තුල දක්වන ප්‍රතිභාව මොනවට කියා පාන්නක් බව කිව යුතුය.
ආගම් දෙකක මේ යුවති පති දෙදෙනාට ඉඳ ගැනීමට ඔවුන්ගේ ආදර කලාලය මත ඉඩක් නොමැත. ඒ එය පුරාවටම කුල සිරිත්,ආගමික තහංචි ආදිය වැතිර ඇත.එත් ඔවුන් එකම එක හිස් ඉඩක් හෝ බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ ආදරය සාක්ෂාත් කර ගැනීමටය.
දැඩි මතධාරී පල්ලියෙන් කිසිදු පිහිටක් නොලැබෙන බව දන්නා තරුණයා තම හදවත් අකුලා බුදු ගෙය තුල හංගන්න තැත් කරන්නේ ඒ නිසා නොවේද?
අගනා නිර්මාණයක් .සංවේදී නිර්මාණයක්.
එත් මෙවැනි ප්‍රස්තුතයන්ට අදාළ සැබෑව හා නිර්මාණය අතර පරතරය නම් තවම අඩුවී නොමැත.

මිය ගිය දිනෙක.... - Manjuni Vidanage



මියගිය දිනෙක මගෙ හදවත නිසල වෙලා...
පැමිනෙනු මැනවි මගෙ තනියට වරක් ඔයා...
සමන් පිච්ච මල් පැලයක් සොහොනේ තියා...
ඔබෙ ආදරේ පවසනවද මගෙම කියා ...
ඉපදෙන සෑම අත් බවයෙම මගෙම වෙලා...
ඔබ ඉනු මැන ලඟින් මගෙ අවසන් පැතුම එයයි..

------------------------------------------------------------



නිසඳැසක වුනත් තියෙන්න ඕන රිද්මය නිර්මාණයේ මුල් පද පහේම නොබින්දී මැනවින් පවත්වාගෙන යන්න මන්ජුනි සමත් වෙලා තියෙනවා.. නමුත් ඒ රිද්මය අවසන් පදයෙන් සම්පූර්ණයෙන් බිඳිලා ගිහින්. වාර්තා ස්වරූපයක් දනවන පදයක් බවට පත් වෙලා. එක හරියට ලිපියක් ලියා අවසානයට" මෙයට ඔබගේ සදාදර , නොවෙනස් මන්ජුනි" කියල ලියනවා වගේ. මම මන්ජුනි නම් එයාට කියන්නේ සමන් පිච්ච මල් පැලයක් තියන්න කියල නෙමෙයි, " සමන් පිච්ච මල් පොකුරක් කියන්නත් බැහැනේ. ඇයි , ඔලු, නෙලුම්, මානෙල්, රෝස, අරලිය, ඇන්තුරියම් වගේ සමන් පිච්ච පොකුරක් විදියට ගන්න පුළුවන් මල් වර්ගයක් නෙමෙයිනේ.
මං හිතන්නේ ඒ හින්දා තමයි මන්ජුනි සමන් පිච්ච පැලයක් තියන්න කියල කියන්නේ. ඒ වුනත් සොහොනේ මල් පැලයක් තියන්න කියන එක ලස්සන යෙදුමක් නෙවෙයි. ගැලපෙන්නෙත් නැහැ.
එත් මන්ජුනිට සොහොනේ මොනවා හරි තියන්නම ඕනේම නිසා කරන්න දෙයක් නැහැ සුලභ යෙදුමක් තමයි දාන්න වෙන්නේ.
"සුදු අරලිය මල් පොකුරක් සොහොනේ තියා"- ඔබේ ආදරේ පවසනවද මගේම කියා"
මම ලිව්වානම් ඔය කවිය, අන්තිම පදයෙ රිද්මය රඳවා ගන්න ඕන නිසා
" ඉපදෙන සෑම අත් බවයක මගේම වෙලා
ඔබ ඉනු මැනවි හැමදාමත් ලඟට වෙලා " කියල ලියනවා

මගේ නාමල - Shriyani Mihindukulasooriya


මගේ නාමල..
අඟනුන් නොබැලුවද නුඹ දෙස සුවඳ නැතී
මට නාමලකි මල් ගොමුවක සුවඳ ඇතී
රෝස කරත්තෙට කසළින් පිරී ඇතී
නුඹ පෙම් කරන්නෙද.., කල මා ළඟක නැතී

අදිනා කසළ.., දෑතට ලැජ්ජාව දැනී
පිලිකෙව් නොකල බව මා හිමි නුඹද දනී
නාලා සොඳින ගෙට එන කල කවුරු වැනී
රන්කඳ මගේ මට නම් පිපි මලක් වැනී

නරකාදියකි මාවත් නුඹ වැඩක නැතී
සඳළු තලෙන් නොසරුප් බස් ගලා එතී
සුවඳ හමන මිනිසුනි සිත් කසළ ඇතී
මා හිමි නොමැති සඳ..,කුණු ගඳ පරල වෙතී.

-----------------------------------------------------------

පන්තිය 1 වසර . ඒ කියන්නේ ජීවිතයේ ප්‍රථම වරට පාසල් ගොස් ඉඳ ගන්නා පන්තිය. දැන් හොඳ ළමයි වගේ කියන්න බලන්නකඔයගොල්ලන්ගේි තාත්තාලා මොනවද කරන්නේ කියලා.
' ටීචර් අපේ තාත්තා නගර සභාවේ කුණු ලොරියේ වැඩ කරන්නේ. තාත්තා ලොරිය යන කොටත් දුවලා දුවලා එකේ එල්ලෙනවා. තාත්තා සෙල්ලම් බඩුත් ගෙනාවා. හුඟාක් ඒවා කැඩිලා. තාත්තා ඒවා හදලා දෙනවා. "
ඒ දැරියට නගර සභාවේ කුණු අදින සිය පියා පරමාදර්ශී චරිතයක්. දැරියගේ ලොවේ වීරයෙක්.සමාජ තරාතිරම, ගැන ඇයට වගේ වගක් නොමැත.
එවන් පරමාදර්ශී චරිතයක් තමයි මෙවර ශ්‍රියානි මිහින්දුකුලසූරියන් සිය කාව්‍ය නිර්මාණය වශයෙන් ඉදිරිපත් කර ඇති " මගේ නාමල" ට පාදක කර ගනුයේ.
ඔහුගේ සුපෙම්බර බිරිඳගේ සිතිවිලි තුලින් ඔහුගේ පමණක් නොව එවන් දුක්ඛිත චරිත සමුහයේම එක පැතිකඩක් විදාරණය කිරීමට ශ්රියානියන් ගෙන ඇති උත්සාහය සාර්ථක බව මුලින් සඳහන් කල යුතුව ඇත..
සාමාන්යෙන් නිර්මාණ කරුවන් ශ්රුන්ගාර රසයම උද්දීපනය වන අනුභූතීන් සොයා යන පසුබිමක බීහත්ස්‍ය රසය ජනනය වන අනුභූතියක් ස්පර්ශ කිරීමේ අභියෝගය භාර ගැනීමට තරම් ශ්‍රියානියන් දිරිමත් වීම සතුටක්.
තම සැමියන් දෙස අන් අඟනුන් නෙත් හෙලීම, අවධානය යොමු කිරීම තරම් ඉවසිය නොහැකි වෙනත් දෙයක් නැති තරම්ය. ඒ අඟනුන් තුල ස්වභාවයෙන්ම
පිහිටා ඇති ඊර්ෂ්‍යා පරවශ භාවය නිසා විය යුතුය..කෙසේ වෙතත් ශ්‍රියානියන් වුව නොහිතනා සියුම් උපහාසයක් සිය නිර්මාණය තුලින් ඇතැම් කාන්තාවන්ට එල්ල කර ඇත.ඒ සුවඳ ඇත්නම් ඇතැම් අගනුන්ද අන් පුරුසහයන් දිහා බලන බවකි.
එහෙත් අපේ කතා නායිකා බිරියට නම් සුවඳ නැති තම සැමියා දෙස අඟනුන් නොබැලීම සම්බන්දයෙන් නම් ඇත්තේ සියුම් කනගාටුවකි. ඇය එය එක එල්ලේ නොකීවද ඇය විසින් කරනු ලබන ප්‍රකාශයෙන් එය ගම්‍ය වේ.
" අඟනුන් නොබලුවද නුඹ දෙස සුවඳ නැති " ..........................
සුවඳ නැති තම සැමියාව අන් අය පිළිකෙව් කලද ඇයට ඔහු සුවඳ හමන නා මලකි. ඇයත් , ඔහුත්, කසල කරත්තයත් හැර බාහිර ලෝකයෙ කිසිවක් ඔවුන් හා බද්ධව නොපවතී. අන් අගනුන් හා පෙම් කිරීමක් ගැන සිහිනෙකින් හෝ සිතිය නොහැකි නිසා ඇය ළඟ නොමැති කල ඔහු කසල කරත්තය ට පෙම් කරන්නේද යන්න අසන ආකාරය මට නම් අනුවෙදනීය බවක් දනවයි. ඒ කසල කරත්තය ද ඇයට රෝස කරත්තයකි.
" රෝස කරත්තෙට කසලින් පිරී ඇති
නුඹපෙම් කරන්නේද - කල මාළඟක නැති"
විටෙක මල් ගොමුවක සුවඳ හමන නා මලක වන ඔහු තවත් විටෙක පිපි මලෙකි. තවත් විටෙක රන් කඳකි.
නිර්මාණයේ පළමු හා දෙවන කවි වලින් සිය සැමියා ගැන ආදරයෙන්, ප්‍රේමයෙන්, සෙනේහයෙන්, ලෙන්ගතු කමින් කතා කරන අප කතා නායිකාව අවසාන කවියෙන් තම සැමියා ගැන ඇති අභිමානය ප්‍රකට කරවීමට ගන්නා උත්සහය කදිමය.
තම සැමියා සේවය නොකරන තාක් කල් මාවත්, වීදි සියල්ල නරකාදී මෙන් වන බව ඇය පවසයි. ඒවා දිව්‍යලෝක ලෙසින් දර්ශනය කිරීමේ හැකියාව ඇත්තේද තම සැමියාට බව ඇය රසික අපට අවධාරණය කරයි.
කෙනෙකු පරලවීම යනු ඇතැම්විට ආතුරයෙකු අතිශයින් දරුණු වීමේ උච්චස්ථානයකට පත් වීමක් විය හැකිය. ඒ පරලවීම මෙල්ල කල හැකි වනුයේද ඇදුරෙකුටම පමණි. කසල නමැති ආතුරයා පරල වූ විට ඔහු මෙල්ල කිරීමේ, සුවපත් කිරීමේ හැකියාව ඇත්තේ තම සැමියාට බව ඇය කියා පාන්නේ කොතරම් නම් අභි මානයකින්ද?
මෙවන් ප්‍රස්තුතයක් තුලින් සාර්ථක නිර්මාණයක් බිහි කිරීමේ ලා ශ්‍රියානියන් දක්වන ප්‍රතිභාව නම් වර්නනාවිශයක්රාන්තිය.
-- නිමි---
---සිසිර ගමගේ--


2


බොහෝ දෙනා එකඟ නොවුනත් මා විශ්වාස කරන දෙයක් තමයි දෛවය විසින් අපට මේ මිනිස් සමාජය තුල යම් යම් භූමිකාවන් පවරා තියනවා කියන එක.( (එකෙන් මම අදහස් කරන්නේ නැහැ සියල්ල දෛවයටම පවරා උත්සාහයෙන් බැහැර වී සිටිය යුතූයි කියා). ඉතින් අරයගෙ මහත්තයා Executive, කෙනෙක්, Supervisor කෙනෙක්, officer කෙනෙක්, එහෙම නැත්නම් අරයගෙ මහත්තයා රාජ්‍ය සේවයේ , කියා මන්දෝත්සාහි වෙමින් අනේ මගේ මහත්තයාට එහෙම වෙන්න බැරි වුනානේ කියා සිහින ලොවේ අතරමන් වෙන FANTASY බිරින්දාලට ශ්‍රියානියන් ගේ මේ නිර්මාණය අතුල් පහරක් නොවන්නේද?
මගේ මුල් සටහනේ වඩාත් ගැඹුරින් මට අවධාරණය කල නොහැකි වූ දෙයක් Mudu Rekha වන් විසින් අවධාරණය කර තිබීම සතුටට කරුණක්. මේ නිර්මාණය සඳහා ලැබුණු ප්‍රශස්ත ම ඇගයීම එය ලෙසින් සඳහන් නොකලොත් අසාධාරණයක් වනු ඇත. නැවත කියවා බලන්න ඇගේ සටහන.ශ්‍රියානියන් ඇයගේ නිර්මාණය තුලින් අප හමුවට කැඳවා ගෙන ඒ ගැහැණිය වෙනුවෙන් Mudu Rekhaවන්ගේ අර්ථ දැක්වීම. එයට ආරෝපනය කරන නාමයන්.ඇත්තෙන්ම එවන් බිරියන් වන්දනීය නොවන්නේද? ශ්‍රියානි , නිර්මානකරුවෙක් සිය නිර්මාණයක් තුලින් සමාජය වෙත විදාරණය කලයුතු දේ කුමක්ද යන්න ඔබ මැනවින් වටහා ගෙන ඇත. නිර්මාණය ක් හුදෙක් නිර්මාණ කරුගේ ආත්ම තෘප්තිය උදෙසාවත් රසික රස වින්දනය උදෙසාවත් පමණක් නිමවුණු ශ්රුන්ගාරාත්මක පද වැලක් නොවිය යුතුය යන්න මාගේ විශ්වායයි.